You are here
Home > ගොසිප් > ෆේස් බුක් නින්ද සොරා ගන්නා බව හෙළිවෙයි

ෆේස් බුක් නින්ද සොරා ගන්නා බව හෙළිවෙයි

ෆේස්‌බුක්‌, වට්‌ස්‌ඇප් හා ස්‌නැප්චැට්‌ යන සමාජ මාධ්‍ය ජාලාවල දිනකට පැයක්‌ ගත කිරීමෙන් පුද්ගලයෙකුගේ නින්දට දැඩි සේ බාධා පමුණුවන බව කැනේඩියානු පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

ඉහත කී සමාජ මාධ්‍ය ජාලාවල දිනකට පැයක්‌ ගත කරන අයට නින්දයැම සම්බන්ධව ඇතිවන ගැටලු එම මාධ්‍ය ජාලාවල ගත නොකරන අයට වඩා වැඩි බව පර්යේෂකයෝ පන්වා දෙති

වත්මන් සමාජයේ බොහෝ පාසල් සිසුන්, යෞවනයින්, තරුණයින්, මෙන්ම වැඩිහිටියන් ෆේස්‌බුක්‌ වැනි සමාජ මාධ්‍ය ජාලාවල දවසෙන් වැඩි ප්‍රමාණයක්‌ ගත කරන බව අනාවරණය වී ඇති අතර තරුණ පිරිස්‌ වැඩි දෙනෙකුට දිනකට පැය අටක නින්දක්‌ ලබා ගැනීම අසීරු වී ඇත්තේ මෙම තත්ත්වය නිසා බව හෙළි වී තිබේ.

මෙම සමාජ මාධ්‍ය ජාලවල වැඩි කාලයක්‌ රැඳී සිටීමෙන් තරුණයන් නිදා ගන්නා පැය ගණන ද අඩුවන බවත් යෞවන වියෙහි පසුවන ගැහැනු ළමුන් මෙන්ම පිරිමි ළමුන් ද මෙම මාධ්‍ය ජාලාවලට ඇබ්බැහි වීමෙන් නින්ද නොයැමේ ගැටලුවලට මුහුණපාන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙයට පෙර සිදුකරන ලද අධ්‍යයනවලදී හෙළිදරව් වූයේ දුර්වල අධ්‍යාපන කුසලතාවන්, අඩු ව්‍යායාමය හා දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයක්‌ පවතින යෞවනයින් හා තරුණයන් දුර්වල නිදා ගැනීමේ රටාවකට ද හිමිකම් කියන බවයි.

ඇමරිකානු හා කැනේඩියානු මාර්ගෝපදේශන මාලාවන්ට අනුව වයස අවුරුදු 6 සිට 13 දක්‌වා වූ ළමුන් රාත්‍රියේ පැය 9 ත් 11 ත් අතර නින්දක්‌ ලැබිය යුතු අතර වයස අවුරුදු 14 ත් 17 ත් අතර යෞවනයින් රාත්‍රියේ පැය 8 ත් 10 ත් අතර කාල සීමාවක නින්දක්‌ ලැබිය යුතුය. වයස අවුරුදු 18 ට වැඩි අය රාත්‍රියේ පැය 7 ත් 9 ත් අතර නින්දක්‌ ලැබිය යුතු බවට නිර්දේශ වී තිබේ. මෙම කාල සීමාවන්හි නින්දක්‌ ලැබීමෙන් සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වන බව වෛද්‍ය මතයයි. මෙම අධ්‍යයනය මෙහෙය වූ කැනඩාවේ නැඟෙනහිර ඔන්ටේරියෝ පර්යේෂණ මධ්‍යස්‌ථානයට අනුබද්ධ ළමා රෝහලේ වෛද්‍ය ජින් µsලිච චපුට්‌ ට අනුව නින්ද යනු පුද්ගලයකුගේ සෞඛ්‍ය සංවර්ධනය ඇති කිරීමට අවශ්‍ය වූ අත්‍යවශ්‍ය අංගයක්‌ මෙන්ම කායික හා මානසික සෞඛ්‍ය කෙරෙහි ප්‍රබල දායකත්වයක්‌ දක්‌වන්නකි.

පසුගිය දශක කිහිපය තුළදී නව යෞවනයින් අතර ප්‍රමාණවත් නොවන නින්දක්‌ නොලැබීමේ ප්‍රවණතාවක්‌ මතුව තිබෙන බව හෙළි වී තිබේ. මෙම අධ්‍යයනය සඳහා වයස අවුරුදු 11 – 20 අතර කැනේඩියානු ශිෂ්‍යයන් 5,242 දෙනකු යොදාගෙන ඇති අතර ඔන්ටේරියෝ හි ශිෂ්‍යයින්ගේ මත්ද්‍රව්‍ය භාවිතය හා සෞඛ්‍ය සමීක්‍ෂණයට දායක වී ඇති මෙම පිරිසෙන් පිරිමි ළමුන්ගෙන් සියයට 51.4 සිට 59.6 දක්‌වා අඩු නින්දක්‌ ද ගැහැනු ළමුන්ගෙන් සියයට 48.6සිට 67.9 ක්‌ ප්‍රමාණවත් නින්දක්‌ නොලබන බව හෙළි වී තිබේ.

මෙම පිරිසෙන් සියයට 73.4 ක්‌ දිනකට අවම වශයෙන් පැයක කාලයක්‌ සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන බව පවසා ඇත.

Top