ෆොන්සේකා ඇමති ධූරයෙන් නෙරපන්න / ඒකාබද්ධය ඉල්ලයි

පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පුද්ගලික ආරක්ෂකයින් ලෙස භාවිතා කරන බවට චෝදනා එල්ල වන තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට එරෙහිව කවර පියවරක් ගන්නේදැයි ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා අද ප්‍රකාශ කළා.

ඒ බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

ගිහාන් සඳරුවන්, ක්‍රිස්ටෝපර් නයනජිත් ඇතුළු පාතාල සාමාජිකයන් සමග සරත් ෆොන්සේකා මහතා සම්බන්ධකම් පවත්වන බවත්, එම ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවලදී ඔවුන් නිදහස් කරන ලෙස පොලීසියට බලපෑම් කර ඇති බවටත් මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා එල්ල කළා.

සරත් ෆොන්සේකා මහතා සංවිධානය කරන උත්සවවලට එම පාතාල සාමාජිකයන් සහභාගීවූ ආකාරය දැක්වෙන ඡායාරූප පවතින බවද ඔහු කියා සිටියා.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතාගේ ඇමති ධුරය ඉවත් කර ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා හා පොලිස්පතිවරයා කටයුතු කළ යුතු බවයි මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ.