ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 50කින් ඉහල නංවා තිබුණා.

මෙම මිල වැඩි කිරීම සමග ලංකා IOC ඉන්ධන පිරවුම්හල් වලින් ලබාගන්නා පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් ලීටරයක් රුපියල් 121 කට අලෙවි කරන අතර 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක මුදලට අලෙවි කරනු ලබයි.

පසුගිය මාසයේ අවස්ථා දෙකකදී ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්තා.

පෙබරවාරි 06 වනදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දැමීමට කටයුතු කළ අතර පෙබරවාරි 26 වනදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගනු ලැබුවා.

පුවත යවන්න