පාසල් සිසුන්ට ටැබ් ලබන පාසල් වාරයේ

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම හා සෑම පාසල් සිසුවකුටම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් ලබාදීම ලබන පාසල් වාරය ආරම්භ වන විට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පසුගිය අයවැය යෝජනාවලියේ කොටසක් වශයෙන් ගුරුවරුන් 28000කට හා උසස් පෙළ සිසුන් 175000කට මේ ලෙස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට නියමිතයි.
එම කටයුතු ලබන පාසල් වාරය සමගම ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

පාසල් විෂය කරුණු ඇතුළත් කර සිසුන් අතට පත් කරන මේ ටැබ් පරිගණක යන්ත්‍ර මඟින් ඩොංගල් භාවිත කර අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට නොහැකි වන අතර, වයිෆයි පහසුකම් ඇති අවස්ථාවන්හිදීද භාවිත කළ හැකි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත වෙබ් අඩවි පමණයි.  අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා අවශ්‍ය පාඩම් හා අධ්‍යාපන වැඩසටහන් බාගත කරගත හැකි පරිදි අධ්‍යාපන නිල වෙබ් අඩවියද නවීකරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරනු ලබනවා.

මේ හා සමගාමිව සියලු පාසල්වලට අන්තර්ජාල පහසුකම් මෙන්ම වයිෆයි පහසුකම්ද ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර, ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරන බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *