ඩිෆෙන්ඩරයේ පාට දෙවරක් වෙනස්කරලා / යෝෂිතගෙන් අද ප්‍රශ්න කරයි

රතුකුරුස සංවිධාන විසින් සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක අවස්ථා දෙකකදී පාට වෙනස් කර ඇතැයි පොලිස් ආරංචි අනාවරණ කරනවා.
සුදු පැහැදි ඩිෆෙන්ඩර් රථය මුලින්ම නිල් පැහැටත් පසුව කලූ පැහැයටත් වෙනස් කර ඇති බවයි අනාවරණවී ඇත්තේ.

එය දම් පැහැයට යළි වෙනස් කිරීමේ සූදානමක් තිබුණු බවට ද තොරතුරු ලැබුණු ලැබුණු බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ.

එහෙත්  ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් රතුකුරුස සංවිධානය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන නැහැ.

හබරකඩ ප්‍රදේශයේ නිවසක පාට වෙනස් කළ ඩිෆෙන්ඩරයක් ඇති බවට ලද තොරතුරක් අනුව මෙම වාහනය අත්අඩංගුවට ගෙන තිබුණා.

රතුකුරුස සංවිධානයේ ප්‍රවාහන කළමනාකරුවකුගේ නිවසේ ඒ වන විට රථය පැවැති බවයි පොලිසිය අනාවරණ කරගත්තේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී  ප්‍රවාහන කළමනාකරු කියා ඇත්තේ මෙම ඩිෆෙන්ඩරය සිරිලිය සවියට ලබා දී තිබුණු බවයි. එය යළි තම වත්තට ගෙනවුත් දැම්මේ කවුරුන්දැයි නොදන්නා බව ද ඔහු පවසා තිබුණා.

ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය සමාජ සුභසාධන අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය ආදී ආයතන කිහිපයක පිරිස්වලින් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

සිරිලිය සවිය වැඩසටහන සඳහා වාහනයක් අවශ්‍ය බව හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගෙන් ඉල්ලා ඇතැයි ද, ඒ අනුව 2011 වසරේදී ෆීලික්ස් පෙරේරා මහතා හරහා ඩබ්ලිව් පී කේ ඒ 0642 අංක දරණ ඩිෆෙන්ඩරය ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී ඇතැයි ද, එලෙස ලබා දෙන ඡායාරූප සොයා ගන් බව ද පොලිසිය පවසන අතර ඒ වන විට රථය සුදු පැහැයෙන් පැවතුණු බවයි අනාවරණ වන්නේ.

සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දුන් ඩිෆෙන්ඩරය පසුව හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ වාහන සංචිතයේ තිබුණු බවට තොරතුරු ලැබුණු බවත්, එය සී එස් එන් නාලිකාවේ ප්‍රධානියකුද භාවිත කර ඇති බවත් අනාවරණයේ දැක්වෙනවා.
එමෙන්ම රථය 2015 ජනවාරි 20 වැනි දා යෝෂිත රාජපක්ෂ මහතා යටතේ තිබූ බවයි අනාවරණ වන්නේ.

වාහනය රතුකුරුස සංවිධානයෙන් සමාජ සුබසාධන අමාත්‍යංශය හරහා ලබා දෙනු ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට බැවින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එය යෝෂිත රාජපක්ෂ මහතා භාවිත කළ බවට තොරතුරු ලැබුණු නිසා අද දිනයේදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බවත් පොලිසිය දන්වා තිඛෙනවා.

හිටපු රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනය කිරීමට යොදා ගත්තේ මෙම රථයදැයි සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close