පූර්ණ සූර්යග්‍රහණයක් අගෝස්තු 21

1955 වසරේ එක් දවාලක සූර්යයා සම්පූර්ණයෙන් වැසී ගොස් රාත්‍රියක් උදාවූ බව ඔබ අසා ඇති. එවැනිම අත්දැකිමක් මේ වසරේ අගෝස්තු මස 21 වනදා ඇමරිකානු වැසියන්ට උදාවේ. පැරැනන් මෙවැනි දිනයන් මහත් අභාග්‍යසම්පන්න දිනයක් ලෙස සැලකුවත් තාරකා විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන්නෙකුට මෙවැනි විරල අත්දැකීමක් ජීවිතයේ කෙදිනක හෝ ලබාගැනීමට හැකිනම්, එය මහත් භාග්‍යයක් කොට සලකනු ඇත.
තාරකා විද්‍යාත්මකව ග්‍රහණයක් යනු කිසියම් නිරීක්ෂකයෙකුට සාපේක්ෂව එක් ආකාශ වස්තුවක් මගින් තවත් ආකාශ වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ආවරණය කිරීමයි. ඒ අනුව පෘථිවිවාසීන්ට වැදගත්වන ප්‍රධාන ග්‍රහණ වර්ග දෙකකි. ඒවා සූර්ය ග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ වේ. වසරකට සාමාන්‍යයෙන් ග්‍රහණ හතරක් පමණ සිදුවේ. ඒ සූර්ය ග්‍රහණ දෙකක් සහ චන්ද්‍ර ග්‍රහණ දෙකක් වශයෙනි. කලාතුරකින් වසරකට ග්‍රහණ පහක් සිදුවන අවස්ථාද ඇත. අගෝස්තු මස පුරපසළොස්වක පෝය දින සිදුවු චන්ද්‍ර ග්‍රහණයෙහි අසිරිය සමහරවිට ඔබ අත්දකින්නට ඇති.
සූර්ය ග්‍රහණ (Solar Eclipse)
සූර්යග්‍රහණයක් සිදුවන්නේ අමාවක දිනයකදීය. සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තු තුනෙහි පිහිටීම, සූර්ය ග්‍රහණයක් සිදුවීම සඳහා බලපායි. මෙවැනි අවස්ථාවක සූර්යයා ,චන්ද්‍රයා සහ පෘථිවිය රේඛිය පිහිටීමකට පැමිණේ. එම අවස්ථාවේ සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණෙන බැවින් පෘථිවියේ සමහර ප්‍රදේශ වලට සූර්යාලෝකය නොලැබෙයි. එනම් චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිව්ය මතට වැටෙයි. එවිට එම ප්‍රදේශයේ සිටින අයට සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ කොටසක් දැකගත නොහැකි වේ.

පෘථිවියේ සිට හඳ පිහිටන දුර මෙන් හාරසිය ගුණයක් පමණ දුරින් හිරු පිහිටයි. හිරුගේ ව්ෂ්කම්භය(පළල) හඳෙහි ව්ෂ්කම්භය (පළල) මෙන් හාරසියගුණයක් පමණ විශාල වේ. එබැවින් පෘථිවියේ සිටින අපට පෙනෙන්නේ හිරු හා හඳ ප්‍රමාණයෙන් එක සමාන ලෙසය. එවිට හඳෙහි මුහුණතෙන් හිරුගේ මුහුණත සම්පූර්ණයෙන්ම මුවාවන්නාක් මෙන් අපට පෙනේ. මේ අයුරින් හිරු එළිය පෘථිවියට නොලැබී යාම නිසා විනාඩි කිහිපයකට සීමාවන රාත්‍රියක් අපට උදාවේ.
මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවූ අවස්ථාවේදී අහස කළුවර වී රාත්‍රියේ මෙන් තරුද දැකගත හැකි වී ඇත. එවිට සතුන් කලබල වූ බවත්, කුරුල්ලන් කෑගසමින් කැදලි කරා පියාඹා ගිය බවත් අපේ මුතුන්මිත්තන් පවසයි.
සූර්ය ග්‍රහණ වර්ග හතරක් ඇත. ඒවා පූර්ණ සූර්ය ග්‍රහණ, අර්ධ සූර්ය ග්‍රහණ, වලයාකාර සූර්ය ග්‍රහණ සහ දෙමුහුම් සූර්ය ග්‍රහණ වශයෙනි. සූර්ය ග්‍රහණයක් සිදුවන විට යම් ස්ථානයකට (රටකට) එය පෙනෙන ආකාරය තීරණය වන්නේ එම ස්ථානය (රට) ලෝකගෝලයේ පිහිටා ඇති ස්ථානය අනුවය. එක් රටකට පෙනෙන සූර්ය ග්‍රහණයක් සමහර රටවලට අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස පෙනේ.
සූර්ය ග්‍රහණයක් සිදුවන විට එය පූර්ණ ලෙස දැකිය හැක්කේ පෘථිවියෙහි කුඩා ප්‍රදේශයකටය. එහෙත් එම අවස්ථාවම තවත් රටවල් කිහිපයකට අර්ධ සූර්ය ග්‍රහණයක් සේ පෙනිය හැක. සූර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය රේඛිය පිහිටීමෙන් තරමක් අපගමනය වූ විට අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දිස්වේ.
චන්ද්‍රයා , පෘථිවිය වටා පරිභ්‍රමණය වන බව අප දනිමු. මෙසේ පරිභ්‍රමණයේදී චන්ද්‍රයා පෘථිවියට දුරින්ම පිහිටි අවස්ථාවේදී පූර්ණ සූර්ය ග්‍රහණයකදී මෙන් හිරු චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන්ම ආවරණය නොවේ. එවිට ඉහත රූපයේ පරිදි සූර්යයාගේ මැද අඳුරුවත් වටේ වළල්ලක් ආකාරයටත් සූර්යයා අපට දිස්වේ. මෙය වලයාකාර සූර්ය ග්‍රහණයක් පෙස හඳුන්වයි. මෙම අවස්ථාවම තවත් රටවලට අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස පෙනෙනු ඇත.
සමහර පූර්ණ සූර්ය ග්‍රහණ සමහර රටවලට වලයාකාර සූර්ය ග්‍රහණයක් ලෙස දිස්විය හැකිය. මෙය දෙමුහුම් සූර්ය ග්‍රහණයක් ලෙස හඳුන්වයි. මෙහිදීද තවත් සමහර රටවලට අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස මෙය දිස්විය හැක.
මේ මස 21 වෙනිදා සිදුවන සූර්ය ග්‍රහණය උතුරු ඇමරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වන අතර අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙස බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට දර්ශනය වේ.
මීළඟ පූර්ණ සූර්ය ග්‍රහණය 2019 ජූලි 02 දා සිදුවන අතර එයද දර්ශනය වන්නේ දකුණු ඇමරිකාවට පමණි. නමුත් 2019 දෙසැම්බර් 26 දින සිදුවන වලයාකාර සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට හොඳින්ම දර්ශණය වේ. මෙය ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී පැහැදිලිව දැකගත හැකි අතර කොළඹට දර්ශනය වන්නේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය.
තවත් වර්ෂ ගණනාවක් ගිය පසු පෘථිවි වාසීන්ට පූර්ණ සූර්යග්‍රහණ දැකිය නොහැකි වනු ඇත. ඒ මන්ද යත් වර්ෂයක් තුළදී චන්ද්‍රයා පෘථිවියෙන් 3.8 cm පමණ ඈත් වෙමින් පවතින නිසා තවත් කාලයක් ගිය පසු චන්ද්‍රයාට සූර්යයා සම්පූර්ණයෙන්මආවරණය කරගත නොහැකි වීම නිසාය.
සූර්ය ග්‍රහණ හෝ සූර්යයා දෙස පියවි ඇසින් බැලීම අනතුරුදායක බැවින් ඒ සඳහා විශේෂිත කණ්නාඩි වැනි ආරක්ෂිත උපක්‍රම භාවිතා කල යුතුය.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ඉදිරිපත් කිරීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close