මොරගහකන්ද වැඩ ලබන මාසයේ අවසන්

රුපියල් මිලියන 32800ක්‌ වැය කර ඉදිකෙරෙන මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට නිම වෙමින් පවතින අතර එය අවසන් කර ලබන මාසයේ රජයට භාරදීමට නියමිතය.

පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක්‌ විශාල මොරගහකන්ද- කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික මැදිහත්වීම මත ඉදිකිරීම් කඩිනම් කර මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.

ජලය කිලෝමීටර් 102ක දුරක් දක්වා හුරුළු වැවටත්, හුරුළු වැව සිට මහ කනදරාව වැවටත් වැටෙන මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජලය පිරවීමේ කටයුතු ජනවාරි 11 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සංකේතාත්මකව ජලාශයේ දොරටු වසා මංගල දියවර මුදාහැරීමෙන් පසු මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීමේ ආරම්භ කෙරිණි.

මාතලේ හා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කවල මායිමේ ඉදි කරන්න යෙදුන මොරගහකන්ද ජලාශය මහවැලි මහා සැලැස්‌මටත් පෙර යෝජනා වුවත් එතැන් පටන් කඩිනම් මහවැලිය ක්‍රියාත්මක කළ 1979 වර්ෂය දක්‌වා මොරගහකන්ද, ප්‍රධාන ජලාශ පහ තුළ (පංච මහා ජලාශ) ක්‍රියාත්මක වූ නමුත් පංචමහා ජලාශ ව්‍යාපෘතියෙන් ද මගහැරී ගිය මොරගහකන්ද වෙනුවට හැදුණේ වෙනත් ජලාශ කිහිපයකි.

පසුගිය රජය සමයේ මහවැලි සංවර්ධන ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුල්ගල තබා එය දියත් කිරීමට උත්සහ කළත් ක්‍රියාත්මක කරන්න නොහැකි වූ මෙම ව්‍යාපෘතිය ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඊට ප්‍රමුඛතාව ලබාදෙමින් මෙම ව්‍යාපෘතිය අවසන් කරවීමට පියවර ගත්තේය.

මොරගහකන්ද ජලාශය වර්ග කිලෝමීටර් 29.5ක් පුරා පැතිර ඇති ඇති අතර ජලාශයේ පූර්ණ ජලධාරිතාව ඝන මීටර් දශලක්ෂ 569.9 ක් ( අක්කර අඩි 463,000 ක්) වන අතර සක්‍රීය ජලධාරිතාව අක්කර අඩි 423,000 කි.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා වැයවන මුළු මුදල රුපියල් මිලියන 33, 872. 6 ක් ලෙස ගනන් බලා ඇති අතර එයින් සියයට 85 ක් හෙවත් රුපියල් මිලියන 28,952.1 ක් චීන සංවර්ධන බැංකුව ද සියයට 15ක් හෙවත් රුපියල් මිලියන 4920.5 ක් දේශීය අරමුදල් මගින් ද ආයෝජනය කර ඇත.

රජරට කලාපයේ හෙක්ටයාර් 82,000ක් සඳහා යල මහ දෙකන්නයේ දී වාරි ජල පහසුකම් සැපීමට ඇති හැකියාව ප‍්‍රධාන වේ. විශේෂඥයන් විසින් ගණන් බලා ඇති ආකාරයට මෙම ප්‍රදේශයන්හි ‘වගා තීව්‍රතාවයේ සාමාන්‍ය අගය වන සියයට 100 සිට සියයට 154 දක්වා වන සාමාන්‍ය අගය සියයට 181 දක්වා ඉහළ නැංවීමට අවස්ථාව උදාවේ. මෙහි ඍජු ප‍්‍රතිලාභයක් ලෙස හෙක්ටයාරයකට ලැබෙන වී අස්වැන්න ඉහළ යාමක් සිදුවේ. මෙමගින් වාර්ෂිකව රුපියල් මිලියන 4000 ක පමණ ආර්ථික ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය මගින් ටර්බයින් 4 ක් මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 25ක ජල විදුලි බලයක් එක් කිරීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන 336ක් පමණ ඉතිරිකර ගත හැකිය.

අක්කර අඩි 660,000ක් පමණප්‍රදේශයක් පුරා පැතිරෙන මොරගහකන්ද – කලූගඟ ජලාශ මගින් මිරිදිය ධීවර කර්මාන්තයට සුවිශේෂ දායකත්වයක් ලබාගත හැකිය. මේ වන විට ගණන් බලා ඇති පරිදි වාර්ෂිකව ටොන් 3000ක් පමණ වන මිරිදිය ධීවර අස්වැන්නක් බලාපොරොත්තු වන අතර එහි අගය රුපියල් මිලියන 225 ක් වශයෙන් සැලකේ. (dinamina)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close