නාවික හමුදාපතිගේ පත්වීමට විරෝධය පා ජානිපෙන් නිවේදනයක්

නාවික හමුදාපති ධූරයට ට්‍රැවිස් සින්නයියා මහතා පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බව පවසමින් ජාතික නිදහස් පෙරමුණ අද නිවේදනයක් නිකුත් කළා. මේ එම සම්පූර්ණ නිවේදනයයි.

නව නාවික හමුදාපති ලෙස ට්‍රැවිස් සින්නයියා මහතා පත් කොට තිබේ. එම පත්වීම මගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක‍ෂාවට තර්ජනයක් මතු විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ ස්ථාවරයයි. නව නාවික හමුදාපතිවරයාගේ ජාතිකත්වය පිළිබඳව අපට කිසිදු ප්‍රශ්නයක් නොමැත. හමුදාපතිවරයකු සිංහල, දෙමළ හෝ මුස්ලිම් වීම කිසිවකුටත් ප්‍රශ්නයක් විය නොහැක. නමුත් ඉහත කී නිලධාරියා යුද්ධයෙන් පසුව නාවික හමුදාවෙන් නීත්‍යනුකූලව ඉල්ලා අස් වූ නිලධාරියෙකි. එසේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක‍ෂක උපදේශක ලෙස වසර 04ක් සේවය කොට තිබේ. ඔහුට වැටුප් ගෙවා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගිනි.

නමුත් 2015 ජනවාරි 08 බල පෙරළියෙන් පසුව දේශපාලන පලිගැනීමක් සේ අර්ථ ගන්වා නාවික හමුදා සේවයෙන් ඉල්ලා අස් වූ ට්‍රැවිස් සින්නයියා මහතා හිග වැටුප් ද සමග යළි සේවයේ පිහිටුවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. එසේම ඔහු නාවික හමුදාවේ නැගෙනහිර ආඥාපති ධුරයට ද පත් කළේය. දැන් නාවික හමුදාපති ධුරයට උසස් කොට තිබේ. ඒ අනුව නාවික හමුදාවේ නීතිරීති සම්ප්‍රදායන් නොතකා හරිමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට සේවය කළ අයෙකු ශ්‍රී ලංකාවේ නාවික හමුදාපති ධුරයට පත්ව ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය යනු ශ්‍රී ලංකාවේ මුහුදු ආරක‍ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින එසේම ත්‍රිකුණාමලය තම නාවික හමුදා තිප්පොළත් බවට පත්කර ගැනූමට කුරුමානම් අල්ලමින් සිටින රටකි. දැන් ඒ රටට උවමනා තැනැත්තා මෙරට නාවික හමුදාපති ධුරයට පත්ව ඇත. එසේ වීම මෙරට ජාතික ආරක‍ෂාවට අහිතකර නොවන්නේද? මේ පිළිබඳව මෙරට දෑ හිතකාමී, සබුද්ධික ජනතාවගේ අවධානය යොමු විය යුතුව තිබේ.

දේශපාලන මණ්ඩලය
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close