පොත්ගුල් විහාර බිමේ පිළිමය කාගේද ?

පොළොන්නරුව පොත්ගුල් විහාර භූමියේ ඇති මත භේදයන්ට කිහිප විටක්‌ භාජනය වූ යම්කිසි වස්‌තුවක්‌ (පුස්‌කොළ පොතක්‌ හෝ වියදණ්‌ඩක්‌ හෝ) අතින් ගත් ශෛලමය ප්‍රතිමාව කාගේ විය හැකිදැයි වරින් වර විවිධ අදහස්‌ පළවී ඇත.

ඇතැමෙක්‌ එය පුලස්‌ති සෘෂිවරයාගේ යයි පවසන අතර තවත් අයෙක්‌ එය මහා පරාක්‍රමබාහු මහ රජතුමාගේ යයිද පවසති.

පොළොන්නරු පරාක්‍රම සමුද්‍රයට ආසන්නව පිහිටි නිසාත්, දෑතෙහි දරා සිටින්නේ වියගහක්‌ නිරූපනය කරන කැටයමක්‌ නිසාත් මේ අන් කවරෙකු හෝ නොව හෙළයේ මහා ම ගොවියා ලෙස අතිශය ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබන මහා පරාක්‍රමබාහු මහ රජතුමන්ගේ බව පිරිසක්‌ පවසති. අභාවප්‍රාප්ත පුරාවිද්‍යා අධිකාරී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය වූයේද මෙහි සඳහන් වූ දෙවැන්නයි. එහෙත් එම අදහස (මතය) තහවුරු කරන්නට තරම් වූ ප්‍රබල සාධක කිසිවක්‌ කිසිවෙකු විසින් හෝ ඉදිරිපත් කර නොමැත. මේ පිළිරුව පරාක්‍රමබාහු මහ රජතුමන්ගේ යයි ඉඳුරාම කියන්නට තරම්වූ සඳහනක්‌ කිසිදු පැරැණි ලේඛනයකද නොමැත.

මහාවංශයේ සඳහන් අන්දමට මුලින්ම පෙළොන්නරුව අගනුවර කරගත් පළමුවැනි විජයබාහු රජතුමන් සිරිලක එක්‌සේසත් කළේ ක්‍රිස්‌තු වර්ෂ 1059 දීය. පොළොන්නරුව නගරයක්‌ ලෙස ඉදිකරන්නට ඇත්තේද එය අගනුවර කරන්නට ඇත්තේද ඉන් පසුවය. (එනම් ආසන්න වශයෙන් 11 වැනි ශත වර්ෂයේ අග භාගයේය.) ඊට පෙර පොළොන්නරුව ඝන වනාන්තරයක්‌ව පැවතියාට කිසිදු සැකයක්‌ නැත. එසේ වූ ඝන වනාන්තරයක පිළිරුවක්‌ ඇති බව සොයා ගන්නට හෝ එය අඳුනාගෙන එය නම් කරන්නට හා පුලතිසි ගේ යයි නිගමනය කරන්නට මෙන්ම “පුලතස” යනුවෙන් ලේඛන කරන්නට හෝ සමත් වූ තැනැත්තා කවුද? මෙය සාධාරණ වූ ස්‌ථිර පිළිතුරක්‌ සැපයිය නොහැකි ප්‍රශ්නයකි.

පොළොන්නරුව ආසන්නයේ පිහිටා ඇති සුප්‍රසිද්ධ සෝමාවතී චෛත්‍ය ඉදිකරන ලද්දේ කාවන්තිස්‌ස රජුගේ සොහොයුරියක වූ සෝමාවතී රජ දූ සිහිවීම පිණිස ඇගේ ස්‌වාමියා වූ අභය නම් සේනාපතියෙකු (ප්‍රාදේශීය පාලකයකු) විසිනි. ඒ දළ වශයෙන් ක්‍රිස්‌තු පූ.ව. 200 ට ආසන්න කාලයේ විය යුතුය. මේ සඳහන සාධකයක්‌ කොට කාවන්තිස්‌ස රජතුමාගේ කාලයේ පටන් ක්‍රි.ව. 1056 පළමුවැනි විජයබාහු රජතුමන් පොළොන්නරුව අගනුවර කර ගැන්ම දක්‌වාම පොළොන්නරුව නගරය සහ ඒ අවට ප්‍රදේශය ජනාවාසයක්‌ව පැවැති බව නිගමනය කිරීම යුක්‌ති යුක්‌ත නොවේ. පසුකාලීනව සිදුවූ විදෙස්‌ ආක්‍රමණයන්, මැලේරියා වැනි වසංගත රෝගයන් සහ දැඩි නියඟයන් වැනි ස්‌වාභාවික විපත් පොළොන්නරුව ප්‍රදේශය ජන ශූන්‍ය කරන්නට තරම් ප්‍රබල වූ සාධකයන් විය. ඉතිහාසය එසේ කියයි.

එසේ හෙයින් පොත්ගුල් විහාර පිළිරුව නාමකරණයේ දී එය පුලතිසි සෘෂිවරයා ගේ යයි කියන්නට තරම් ඇසුමතින් හෝ දත් කෙනකු වි යෑයි අපට සිතිය නොහැක.

අනුරාධපුරයේ ඇතුළුනුවර කළ කැණීම්වලදී හමුවූ බ්‍රාහ්මී අක්‍ෂර සහිත සෙල්ලිපි ක්‍රිස්‌තු පූර්ව 450 දී පමණ ලියෑවුණ ඒවා බව මහාචාර්ය පණ්‌ඩුල ඇඳගම මහතා සඳහන් කරයි. එසේම මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් කල්තොට, කුරගල ආදී ප්‍රදේශයන්හි කරන ලද ගවේෂණයන්හි දී සොයා ගන්නා ලද සෙල්ලිපි ක්‍රිස්‌තු පූර්ව 250 ට වඩා පැරැණි යයි ප්‍රකාශ කෙරිණි. මේ ස්‌ථානද්වයේදීම සොයාගනු ලැබූ සෙල් ලිපිවල අන්තර්ගතයන් කවරේ දැයි තවම ස්‌ථිරව ප්‍රකාශ කොට නැත්තේ ඒවායේ භාවිත අක්‌ෂරයන් අප විසින් මෙතෙක්‌ කියවා බලා ඇති සෙල්ලිපි අක්‌ෂර හා සමඟ සසඳන විට ඇති විසල් වෙනස නිසාය.

අප සාකච්ඡා කරමින් සිටින පොත්ගුල් විහාර පිළිරුව පුලතිසි සෘෂිවරයා ජීවත්ව සිටි යුගයේ හෝ ඊට ආසන්න වකවානුවකදී නෙලූයේ නම් එවක භාවිත වූ අකුරු හා පිළිරුවේ දැනට දැකිය හැකි අකුරු එකිනෙක සැසඳෙන්නේ ද යන්න ඉතා ගැඹුරින් සිතා බැලිය යුතු කරුණකි. පුලතිසි සෘෂිවරයාණන්ගේ කාලයේ භාවිත කළ අකුරු කෙබඳු වී දැයි නිගමනය කරන්නට කිසිදු තිරසාර වූ මඟක්‌ නැත. හේතුව ලෙස දැක්‌විය හැක්‌කේ එකල භාවිත කළ අකුරු නිදර්ශනයක්‌ අප අතර නැති හෙයිනි. අහඹු ලෙස හෝ එය “නාගර” අකුරු වීයයි අප උපකල්පනය කළහොත් ඒවා දහවැනි සියවසේ නාගර අකුරු හා නොපෑහෙන බව අමුතුවෙන් කිව යුත්තක්‌ යයි නොසිතමි.

මේ හා සමඟ අපට පිළිතුරු සපයන්නට සිදුවන ප්‍රශ්නයක්‌ වේ. එනම් අද ද පොත් වෙළෙඳපොළෙහි දක්‌නට ලැබෙන රාවණ රජතුමා විසින් රචිතය යි ආයුර්වේද වෛද්‍ය ශාස්‌ත්‍රය විසින් පිළිගන්නා ලද මෙන්ම පොදුවේ බොහෝ වියතුන් විසින් පිළිගැණුනු වෛද්‍ය ග්‍රන්ථ (කුමාර තන්ත්‍ර, උඩ්ඩිස තන්ත්‍ර, අර්ක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, මර්ම විඥන, විධි වෛද්‍යක) සිංහල අකුරෙන් දක්‌නට ලැබෙන්නේ කෙසේද යන්නය.

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙකක්‌ සැපයිය හැක.

පළමුවැන්න, මෙම ග්‍රන්ථයන් ඒ ඒ වෛද්‍ය ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරා විසින් කටපාඩමින් රැකගෙන අවුත් පසුකාලීනව නාගර අකුරින් ග්‍රන්ථාරූඪ කරනු ලැබ ඒවා අද්‍යතන සිංහල අකුරින් මුද්‍රණ ද්වාරයෙන් පිටවූ බවය.

දෙවැන්න මේ ග්‍රන්ථයන් පූර්ණ ග්‍රන්ථ ලෙසටම ආරක්‌ෂා වී පැවති පසුකාලයේදී නාගර අක්‍ෂරයන් ගෙන් අත්පිටපත් කොට තිබී වර්තමාන සිංහල අකුරින් මුද්‍රණය වන්නට ඇති බවය.

එය එසේ වුවද පොත්ගුල් විහාර පිළිරුවේ හිසෙහි පිටුපස ඇති “පුලතස” යන්නටද ඉහත සඳහන් උපකල්පනයන් දෙක සාධාරණීකරණය කළ නොහැක. එයට හේතු සාධක ලෙස සඳහන් කළ හැක්‌කේ වෛද්‍ය ශාස්‌ත්‍රීය ග්‍රන්ථ අත්‍යවශ්‍ය සම්පතක්‌ ලෙස සලකා මුඛ පරම්පරා වශයෙන් ගෙන ඒමට උත්සුක වීම සාධාරණ යයි පිළිගැනීම යුක්‌ති යුක්‌තවීම සහ පිළිරුවක නම එසේ ගෙන එන්නට උනන්දු වී යයි පිළිගැනීමට අපහසුවීම යන කරුණුය. අනෙක්‌ අතට මෙම පිළිරුව නෙළන ලද්දේ පුලතිසි ජීවත් වූ යුගයේම හෝ ඊට ආසන්න ම වූ යුගයේදී නම් නෙලන ලද්දා විසින්ම එකල භාවිත වූ අකුරින් එහි නම සටහන් කළ යුතු යයි සිතීම සාධාරණ වූ සිතුවිල්ලකි. මේ පිළිරුව ක්‍රිස්‌තු පූර්ව 5000 – 6000 දී පමණ ජීවත් වූ පුලතිසි සෘෂිවරයා ගේයයි වර්ෂ 6000 කටත් පසුව (අවුරුදු 5000 කට වඩා පසුකාලීනව) ජීවත් වූ තැනැත්තෙකු විසින් නිගමනය කරන්නේ කෙසේද? කවර පර්යේෂණාත්මක සාධක මතද?

එසේ හෙයින් පොත්ගුල් විහාර පිළිරුව පුලතිසි සෘෂිවරයාගේ යයි නිගමනය කිරීම එය පැරකුම්බාවන්ගේ පිළිරුව යයි නිගමනය කිරීමටත් වඩා අසීරු කරුණකි. (නැතහොත් එසේ නිගමනය කිරීමට තැත් කිරීම අප වැරැදි තීරණයක්‌ කරා පොළඹ වන්නට ඇති ප්‍රවනතාව වැඩි කරන්නකි)

සැබැවින්ම මෙම පිළිරුව කාගේද? එය දෝතින් දරා සිටින්නේ කුමක්‌ද?

නොඅනුමානවම පිළිරුව දෝතින් දරා සිටින්නේ රාජ්‍යත්වය පිළිබඳව සංකේතය වූ වියදණ්‌ඩ (විය-ගස) ය. පාර්ලිමේන්තු රැස්‌වීම්වලදී සෙංකෝලය කතානායක තනතුරේ බලය සංකේතවත් කරයි. පෙර රජ දවස බලය සහ වගකීමේ බර සංකේතවත් කරන ලද්දේ වියදණ්‌ඩෙනි. “සී සෑමේදී නගුල අදින හෝ ගැල බඳින ලදුව එය අදින හෝ ගවයා බර දරන්නාක්‌ මෙන් ඔබ ගේ බර දරමින් යා යුතු ගමනාන්තරය (එනම් සුවපහසු ජීවිතයක්‌ කරා) මම ඔබ සුරක්‌ෂිතව ගෙන යමි යන රාජ්‍ය පාලකයාගේ අප්‍රකාශිත ප්‍රකාශය වියදණ්‌ඩෙන් සංකේතවත් කෙරිණි යි සිතමි.

මෙබඳු වියගසක්‌ දෝතින් දරාගෙන රජ කෙනකු යම් රාජාඥවක්‌ කළ හොත් එය “ගලේ කෙටූ අකුරක්‌” මෙන් නොවෙනස්‌ය. අනුලංඝනීය ය.

වියදණ්‌ඩක්‌ දෝතින් දරාගෙන රාජාඥවක්‌ නිකුත් කළ එකම එක්‌ අවස්‌ථාවක්‌ පමණක්‌ අපේ ඉතිහාසයේ සඳහන් වේ.

ඒ සාවූ අතිශය විරල අවස්‌ථාව කවර දා කොහිදී පැන නගිනිද?

පළමුවැනි විජයබාහු රජතුමන් විසින් ක්‍රිස්‌තු වර්ෂ 1082 දී දකුණු සිරිලක විසූ සිත්තරු බුදල්නාවනට පනාකඩුව තඹ සන්නස ප්‍රදානය ප්‍රකාශ කරන ලද්දේ රාජ සභාව මැද යකඩ වියගහක්‌ දෝතින් දරා සිටිමිනි. ඒ බව පනාකඩුව තඹ සන්නසෙහිම සඳහන්ව ඇත.

පාඨකයාගේ පහසුව සලකා පනාකඩුව තඹ සන්නස පිළිබඳව සංක්‍ෂේපයෙන් හෝ හඳුන්වාදීම යුක්‌ති යුක්‌තය.

1948 වර්ෂයේ පෙබරවාරි මස මාතර මොරවක්‌ කෝරළයේ පනාකඩුවේ බෝගහදෙනිය කුඹුරේ පස්‌ යට තිබී කරෝලිස්‌ අප්පුහාමි නම් ගොවි මහතෙකු ගේ උදැල්ලේ ගැටීමෙන් සන්නස අඩංගු තඹ පත්‍ර හමුවී ඇත.

තඹ සන්නසෙහි පෙළැ මුල් කොටස මෙසේය.

“ස්‌වස්‌ථි සිරි සිරිවත් අපරියත් ලො ඉකුත් ගුණ මුලෙන් උතුරත් මුළු දම්බ දිව්හි අන් කැත් කුල පාම්ලි කළ ඔකාවස්‌ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලක්‌දිව් පොළො යොහෙන පරපුරෙන් හිමි සිරි සඟබෝ විජයබාහු රජ පා වහන්සේතුමා සිය වික්‌මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරුලා මුළු ලක්‌දිවි එක්‌සේසත් කැරැ රජ වළන්දමින් සවිසි හවුරුද්දක්‌ ඉකුත් සත් ළැඟු සත් විසි වන්නහෙs කැත්තෙ සන්ද අව පස්‌මස්‌හි අව සතවක්‌ දවස්‌ නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සේසත් කිස තවරමින් වැඩැහින්දැ තමා සොවුරු ඈපා මාපා යුවරජු ඈ රජගණා ප්‍රමුඛයෙන් සිහ විකුම් යහළ යුවළතිනුක හා පූපල තෙද යස පබන්ද දසන් මෙරජවැළ ලකුළු ලවන් අත්පස්‌හි පාමින් රූණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගෙ (අ) විබලයෙන් සිය රජින් පිරිහී ගල්වැළැ වැළැහිS වන අවදියෑ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ ඈ මුළු රජකුල සිය පිරිස්‌නෙන් රැකැ අප සඟ වියෙහි වඩා වනමුල්පලා හරණෙන් පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙන් වළහා තන්හි තන්හි විග්‍රහ බැන්දැ රුහුණු දනව් පෙරළා එකත්කොට ගල්වලින් බහා සිය රජහි පිහිටුවා දුක්‌ වුන් ප්‍රසාදයට මෙකුන් දරු මුනුම්බුරන්….”

උක්‌ත කොටසෙහි අරුත වත්මන් සිංහලෙන් (-

මංගල්‍යයක්‌ වේවා නිමක්‌ නැති ලොකෝත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකල දඹදිවෙයි සෙසු ක්‍ෂත්‍රියයන් සිය පාදමූලයෙහි කළ ඔක්‌කාක පරම්පරාවෙන් පහළ වූ ක්‍ෂත්‍රිය උතුමනට අග්‍ර මහේෂිකාවක වූ (වැනි වූ) පාරම්පරික උරුම අනුව ලක්‌දිව නමැති තරුණ කාන්තාවගේ ස්‌වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 වැනි විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික්‍රමයෙන් ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරුකොට සකල ලංකාද්වීපය එක්‌සේසත් කොට රජ සැප විඳීමෙන් විසිහය වසක්‌ ඉකුත් වූ හෙව් විසිහත් වැන්නෙහි කැති සමයේ දෙවැනි වප් මස අව සතවක්‌ දිනයෙහි අනුරාධපුර වරයෙහි සිංහාසනාරූඪව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝකවත් කරමින් වැඩහිඳ සහෝදර වූ ඈපා මාපා යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික්‍රම ඇත්තේ යකඩ වියගහ ඔසොවා දෑතින් දරමින් ප්‍රවාහනය වන යසස්‌ තේජස්‌ ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්‌හි දක්‌වමින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්‌වකීය රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැඟවී වාසය කරන කළ අප පියා වන මහා ස්‌වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ආදි සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්‌ෂා කර අප බාල කාලයෙහි හදා වඩා වනමුල් ඵලාහාරවලින් පෝෂණය කොට පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්‌සත් කොට ස්‌වකීය රාජ්‍යයෙහි පිහිටුවා දුක්‌ වින්ද ප්‍රසාදයට මොවුනගේ දරු මුණුපුරන්….

(සම්පූර්ණ පෙළ හා සන්නය සඳහා “පනාකඩුව තඹ සන්නස” – දේව මයිකල් ද සිල්වා හෝ “පනාකඩුවේ තඹ සන්නස” – ටයිටස්‌ ඩබ්ලිව්. රත්නායක හෝ බලන්න)

පනාකඩුව තඹ සන්නසෙහි එන “යහළ යුවළතිනුක” යනුවෙන් ඇති යෙදුම පිළිබඳව පාඨක ඔබගේ අවධානය යොමුකළ මැන.

“යහළ” යනු “යකඩ” යන අරුති. (යහළේ ගෙදර, යහළ (යගල්) කන්ද වැනි යෙදුම් විමසා බලන්න. යුවළ යනු වියගහ (වියදණ්‌ඩ) යන අරුත දෙන පාලියෙහි “යුගලං” යන්නෙන් සැකසුණු වදනයි. “තිනුක” (අතිනුක) යනු අතින් උකහා හෙවත් ඔසොවා යන්නයි.

පළමුවැනි විජයබාහු රජතුමන් විසින් රුහුණු දේශයේ විසි සිත්නරු බිම් බුදල්නාවන්ට රාජ සභාවේ ඈපා මාපාදීන් ඉදිරියේදී පනාකඩුව සන්නස්‌ ප්‍රදානය ප්‍රකාශයට පත්කළේ අනුලංඝනීයත්වයේ සංකේතය වන යහළ යුවළතිනුකවය හෙවත් යකඩ වියගහ දෑත දරාගනිමිනි.

එපමණක්‌ නොව තමන් රාජ්‍ය බලයෙන් පිරිහී පසු බැස වනගතව සිටි අන්දම, තමන් ඇතුළු රාජකීයයන් පර සතුරන් ගෙන් ආරක්‌ෂා කරගත් අන්දම වනඵල වනමුල් ආදියෙන් පෝෂණය කළ අන්දම බාල වියෙහිදී දරුවකු මෙන් රැකබලා ගනිමින් පෝෂණය කළ අන්දම යළි බලයෙහි පිහිටුවීමට අවශ්‍ය සේනා සම්පාදනය හා සංවිධානය කිරීම මුළු හද පත්ලෙන්ම අගය කරමින් කෘතඥතා පූර්වකව හා අනතිමානීව එකී සන්නසෙහිම සටහන් කරමින් සිංහල රාජකීයයන් තුළ වූ කෘතඥතා පූර්වකත්වයේ ගුණ සුවඳ විහිදුවා කළ මේ ප්‍රදානය ඇසීමෙන් දැකීමෙන් හද සසල වූ සමකාලීන කැටයම් ශිල්පියෙකු විසින් සෙල් රුවකට නැගුවා විය නො හැකිද? හැක්‌කේමය.

ඒ එසේ නම් ගල් විහාර පිළිරුව එකදු සාධාරණ මෙන්ම ප්‍රබල සාධකයක්‌ හෝ නොමැතිව මහා පරාක්‍රමබාහු මහ රජතුමන්ගේ හෝ පුලතිසි සෘෂිවරයාණන්ගේ හෝ යයි තීරණය කරනුවට වඩා පරසතුරු බලය බිඳ දමා සිරිලක එක්‌සේසත් කර රාජධානිය පොළොන්නරුවට ගෙන යමින් දෙවැනි යුගයක්‌ ආරම්භ කළ පළමුවැනි විජයබාහු රජතුමන්ගේ යයි නිගමනය කිරීම යුක්‌ති යුක්‌ත නොවන්නේද?

යුක්‌ති යුක්‌ත මය. සාධාරණ ය. ඒ ඇයි?

යකඩ වියගහක්‌ අතින් දරමින් අනුලංඝනීය හෘදයාංගම රාජකීය නිවේදනයක්‌ කළ බවට ලේඛනගතව ඇති එකම අවස්‌ථාව ලේඛනය පනාකඩුව තඹ සන්නස වීමය.

ටී. බී. අතපත්තු
තලාකොළවැව, ආණමඩුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close