කවුරු ගියත් ආණ්ඩුව තියෙනවා / ජනපති කියයි

කවුරුන් ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව 2020 වන තෙක් පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවධාරණය කළා.
අද උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.
සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තිය ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය කුමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරමින් පවසා තිඛෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ 2015 වසරේ දී තමන් බලයට පත් වන විට ආර්ථික හා අන්තර්ජාතික වශයෙන් ශ්‍රී  ලංකාව බරපතළ සහ සෝචනීය තත්ත්වයකට පත්ව තිබු බවයි.

එම ප්‍රශ්නවලට විසඳුම් නොමැතිවීම හේතුවෙන් එවකට සිටි දේශපාලන නායකයින් වසර දෙකකට පෙර ආණ්ඩුව විසුරුවාහැරීමට කටයුතු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

බලයට පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර බලපෑම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරමින් රටේ ස්වාධීන්තවයට බලපෑම් ඇති නොවන ලෙස කටයුතු කළ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මේ හේතුවෙන් විදුලි පුටුව සහ යුද අධිකරණය වැනි ගැටළුවලට විසඳුම් ලබාදීමට හැකියාව ලැබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
වත්මන් ආණ්ඩුව බලයට පත් වන විට මෙරටට ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් ද තිබු බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 08 දා  ප්‍රතිඵලය වෙනස් වුයේ නම් ශ්‍රී ලංකාව මේ වන විට කුමන ස්ථානයක පවතීන්නේ ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ හෘද සාක්ෂිය නොදන්නා බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් අතීතයේ මුහුණදුන් ඇතැම් අභියෝගවලට වර්තමානය වන විට තමා ද මුහුණදෙන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close