බුදු බව පැතූ නාඋයනේ අරිය ධම්ම නාහිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අනුනායක, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසක, මහාකම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටක වාගීශ්වර සාසනධජ සිරි ජිනවංස ඤණාරාම වංසාවතංස සාසනසෝභන අතිපූජනීය නා උයනේ ශ්‍රී අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය මා හිමිපාණන් වහන්සේගේ සංක්ෂිප්ත ජීවතාවලෝකනයයි මේ…

කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පොල්පිතිගම ග්‍රාම සේවා වසමෙහි ඉමිහාමින්නේ ගමේදී වර්ෂ 1939 ක් වූ අප්‍රේල් මස 24 වැනි සඳු දින, දිසානායක මුදියන්සේලාගේ කළු බණ්ඩා මහතා සහ මානිංගමුවේ ගෙදර පුංචි මැණිකා මහත්මියට උපන් දිසානායක මුදියන්සේලාගේ හීන් බණ්ඩා නම් වූ කුමරුවා, අත දරු කාලයේ පටන් පැවිදි සිතිවිලි පහළ වෙමින් වැඩුණේ ය. වැඩිවිය පැමිණ නිලගම ප්‍රථම පාඨශාලාවෙන් ඉතා දක්ෂ ලෙස තම ඉගෙනීම් කටයුතු කළ ඔහු දෙමාපියන්ගේ ධාර්මික ආභාසය ලැබ ධර්මඥාන හා බුදුගුණ, මෛත්‍රී ආදි භාවනා ගුණ ද වැඩිදියුණු කර ගත්තේය.

නා උයනේ ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කරගෙන උපෝසථ ශීල සමාදානාදී පුණ්‍ය කටයුතු සිදුකර බ්‍රහ්මචාරී වූ මේ සත් පුරුෂයා විගොඩ බෝධිරුක්ඛිත ස්වාමින් වහන්සේගේ කළණ මිතුරු ඇසුරෙන් යුතුව පණ්ඩුපලාස අවධිය ගත කළ අතර “මෛත්‍රී” නමින් හැඳින්විය. හෙතෙම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි “ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා” නම් උතුම් ශාසනික වැඩපිළිවෙළෙහි නිර්මාතෘ වූ රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මහෝපාධ්‍යාය මහා ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් යුතුව තත් සංස්ථාවෙහි ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඤාණාරාම මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ පුණ්‍ය හස්තයෙන් වර්ෂ 1957 ක්වූ මාර්තු මස 27 වැනි දින ගල්දූව, ගුණවධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේදී ශාසන පැවිද්ද ලැබූයේ “නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ” නාමයෙනි.

සුවච සුවිනීත කීකරු මේ සමණුද්දේසයන් වහන්සේගේ හෙරණ බණ දහම්හි පටන් උපසම්පදා ලාභය දක්වා අධ්‍යයන කටයුතු අතිපූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රී විමලවංස මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ආශ්චර්ය ස්මරණ ශක්තියකින් හෙබි අරියධම්ම ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධර්මය සිය සිත්හි ධාරණය කර ගත්හ. වන පොත් කළහ. අටුවා ටීකා සහිත ධර්ම විනය මැනවින් වටහා ගත්හ. වර්ෂ 1959 ක්වූ ජූලි මස 15 වන දින අලව්ව, රංවල, කුඩාඔය උදකුක්ඛේප සීමා මාලකයේ දී මඩවල ධම්මතිලක නිමලව ලොකු ස්වාමින් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා මාතර ඤාණාරාම මාහිමි, කඩවැද්දුවේ ජිනවංශ මාහිමි ප්‍රධාන කල්‍යාණි යෝගාශ්‍රමීය සම්භාවනීය ආරණ්‍යවාසී මහ සඟ පරපුරෙන් උපසම්පදාව ලත්හ.

අනතුරු ව තවදුරටත් ධර්ම – විනය, ශබ්ද – ශාස්ත්‍ර ප්‍රගුණ කොට ශාසනික සේවය ඇරැඹූහ. යෝගාශ්‍රමීය සිසු පිරිසට ධර්ම – විනය අධ්‍යාපනය සිදු කළ අතර සමථ – විදසුන් භාවනා කමටහන් ගිහි – පැවිදි පිරිස පෝෂණය කළහ. අවවාද අනුශාසනාවෙන් පමණක් නොව ආදර්ශයෙන් ම ශාසන ප්‍රතිපදාව ලොවට පෙන්වා දුන්හ. බුද්ධ පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩ සටහන් දිවයින පුරා වැඩම කරමින් ලංකාවාසී ගිහි – පැවිදි පින්වතුන්ගේ ශ්‍රද්ධා ජනනය වන සේ සිදු කළ අරියධම්ම මාහිමිපාණෝ දිවයිනෙන් බැහැර ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, චීනය, බුරුමය, සිංගප්පූරුව, මැලේසියාව, නවසීලන්තය, නේපාලය, ඩුබායි, ඉන්දියාව ආදි රටවල ද ගිහි – පැවිදි පින්වතුන්ට ද ධර්ම ලාභය දුන්හ. එසේම විනය – සූත්‍ර – අභිධර්ම සම්බන්ධිත ග්‍රන්ථ රාශියක් දැයට දායාද කළ අතර බුරුම භාෂාවෙන් ඇති ග්‍රන්ථ හෙළ බසට පරිවර්තනය කළහ. දස දහස් ගණන් ධර්ම දේශනා කළ වියත්, විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වූහ.

තමන් වහන්සේ ගේ සුසිල්වත් පින්බර දිවිය සඵල වූයේ බුරුම රට ‘පා – අවුක්’ ආරණ්‍යයෙහි භාවනා ප්‍රගුණ කිරීමෙනි. අතිපූජනීය ඌ ආවිණ්ණ පා – අවුක් සෙයාඩෝ මාහිමියන් වහන්සේ ගේ සුවිශේෂී උපදෙස් ඇතිව අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අෂ්ට සමාපත්ති ලාභී වූ සේක. සංඛාරුපෙක්ඛා ඥානය දක්වා විදසුන් නුවණ පිරිපුන් කරගත් සේක.

තමන් වහන්සේ ගේ අත් අකුරින් ලියූ භාවනා අත්දැකීම් හා දින පොත්වලින් මේ කරුණු මනාව ස්ඵුට වේ. වර්ෂ 2011 වස්සාන කාලය අවසානයෙහිදී “එකම කෙලෙස් සිතක් වත් ඇති නොවන ලෙස මම මේ වස් කාලය හොඳින් ගත කළා” යනුවෙන් ද, තවත් දිනෙක “මම දැන දැන කුඩා ඇවතකට වත් පත් වී නැහැ” යනුවෙන් ද සිංහනාද කළ සේක.

“මම කවදාවත් තනතුරු සම්මාන පසුපස ගියේ නෑ. ලැබුණු දේ භාරගෙන කුසල් සිතින් ඒ ශාසනික කටයුතු සිදුකළා” යන වචනය පරිදි ම තනතුරු සම්මාන ගලා පැමිණි නමුත් ආගතභාරය දැරුහ. කර්මවාගාචාර්ය ධුරය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා පරියත්ති මණ්ඩලයේ හා අධිකරණ මණ්ඩලයේ ලේකම් ධුරය, ධර්මාචාර්ය ධුරය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය සංඝ සභාවේ සම ලේඛක ධුරය, සඤ්ඤාලේඛක ධුරය, මහා ලේඛකාධිකාරී හා යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක ආදි ධුර දැරුහ. එසේම බුරුම රජයෙන් ලැබුණු මහාකම්මට්ඨානාචරිය සම්මානය වචනයේ පිරිපුන් අරුතින් ම පූජනීය නා උයනේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගැළපුණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව හේතුවෙන් ශෝභමාන වූයේ ය. තත් නිකායික මහා නායක මා හිමි වර ප්‍රමුඛ මහ සඟ රුවන ගේ අභිමතයෙන් අප මාහිමිපාණන් වහන්සේට මහෝපාධ්‍යාය ධුරය “ත්‍රිපිටක වාගීශ්වර සාසනධජ” යන ගෞරව අභිධාන සහිතව ද, එසේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අනුනායක ධුරය ‘සිරි ජිනවංස ඤාණාරාම වංසාවතංස සාසන සෝභන’ යන ගෞරව නාමය සහිතව ද පිරිනැමිණි.

අප මාහිමිපාණන් වහන්සේට කසී සළු වැනි චීවර පරිෂ්කාර ලැබුණ ද අල්ප පරිෂ්කාරී වූ සේක. රාජ භෝජන වැනි භෝජන ලැබුණ ද රසයෙහි ගිජු නොවූ සේක. සුව පහසු ප්‍රාසාද වැනි කුටි සෙනසුන් ලැබුණ ද එහි නො ඇලුණු සේක. වෛද්‍ය ප්‍රතිකාර, උපස්ථාන නොඅඩුව ලැබුණු ද එහි නො බැඳුණු සේක. දහස් ගණනින් පැවිදි සිසු පිරිස සිටිය ද විවේකයෙහි ඇලුණු සේක. දස දහස් ගණන් ගිහි දායක පිරිස සිටිය ද ලාභ සත්කාර කිත් පැසසුම්හි මුලා නොවූ සේක. පරියාප්තියෙහි කෙළ පැමිණිය ද නිහතමානී වූ සේක. ප්‍රතිපත්තියෙන් උසස් වුවද නිහඬ වූ සේක. ප්‍රතිවේධයට ළඟා වුවද කරුණාවෙන් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවනු වස් සම්බුද්ධවය පැතූ සේක. ඒ අත්‍යුත්තම ගුණකඳ දැරූ අතිපූජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම සංඝරාජයාණන් වහන්සේ 2016 ක්වූ සැප්තැම්බර් මස 07 වන දින අපවත් වී වදාළ සේක.

උන්වහන්සේගේ ස්වයං චරිතාපදානයේ දිනපතා සිදු කළ ප්‍රාර්ථනය මෙසේ ය.

“දිනපතා රැස්කර ගන්නා වූ සකල කුසල සම්භාර ධර්මය මා හට සර්වඥතා ඥාන ප්‍රතිලාභය පිණිස ම හේතු වේවා! ඒ සඳහා ම පාරමී ගුණ බෝධි සම්භාර ධර්ම පූරණය පිණිස මේ ජීවිතයේ දී ත්‍රිපිටකධාරී වීමටත්, පංච අභිඥා, අෂ්ට සමාපත්ති ලාභී වීමටත්, සංඛාරුපෙක්ඛා ඤාණ තෙක් විදර්ශනා ඥානයෙන් දියුණු වීමටත්, ඒ ධර්මයන්ගෙන් නොපිරිහී බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සැලසීමටත් ශක්තිය ලැබේවා!…”

පූජ්‍ය රම්මුතුගල බුද්ධවංස ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close