සී අයි ඩී ප්‍රධානියා ගැන ප්‍රකාශය ගම්මන්පිල ඉවත් කරගනී

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශ ඉවත් කරගන්නා බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා  අද ප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ එහිදී මන්ත්‍රීවරයා පල කළ අදහස්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා රණවිරුවන්ට එරෙහිව කටයුතු කළ නිසා ඔහුට ද්විත්ව උසස්වීමක් ලැබුණු බවට 2017 පෙබරවාරි 27 දින පැවැති මාධ්‍ය හමුවේ දී මම ප්‍රකාශ කළා. බැලු බැල්මට එය ද්විත්ව උසස්වීමක්. 2016.02.16 දින පොලිස් අධිකාරි තනතුරට උසස් වෙන ශානි අබේසේකර මහතා 2017.02.01 දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් වෙනවා. වසරක් ඇතුලත උසස්වීම් දෙකක්.
පළමු උසස්වීම දෙන්නේ 2011.08.25 දිනට පෙර දාතම් කරලා. ඒ අනුව මාස කිහිපයක් යන විට හරියටම කිව්වොත් 2016.08.25 දිනට පොලිස් අධිකාරි තනතුරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත් වීමට ගත කළ යුතු වසර පහ සම්පූර්ණ වෙනවා. ඔන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස්වීම ලැබෙනවා. පෙර දාතම් කලේ නැති නම් උසස්වීම ලබා ගන්න 2021.08.25 දින තෙක් බලා සිටිය යුතුයි. ඒ වන විට ඔහු විශ්‍රාම ගිහින්. ඒ නිසා තමයි මම මෙතැන පක්ෂග්‍රාහිත්වයක් තිබෙන බව කිව්වේ. නමුත් මට සාක්ෂි සමග ලැබුණු තොරතුරු අනුව ඔහුට පෙර දාතම් කර උසස්වීම ලබා දී තිබෙන්නේ මීට පෙර නිර්දේශ කළ උසස්වීම ප්‍රමාද වුණු නිසා.
අඟුලාන පොලිසියේ දී තරුණයින් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් පොලිස් නිළධාරින් හතරදෙනෙකුට එරෙහිව පැවැති නඩුවේ දී හතරදෙනාම එල්ලා මැරීමට උසාවිය නියෝග කරනවා. මේ නඩුවේ දී ශානි අබේසේකර පෙන් වූ දස්කම් අගය කරලා නීතිපති ඊවා වනසුන්දර මිය පොලිස්පතිට 2011.10.19 දිනැති ලිපියක් එවනවා. ඒ වගේම අඟුලාන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග වන්නේ ශිරාණි තිලකවර්ධන විනිසුරුතුමියගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. එතුමිය ශානි අබේසේකර පෙන්වූ දස්කම් අගය කරලා පොලිස්පතිට 2014.04.14 දිනැති ලිපියක් එවනවා. මේ අනුව නඩු තීන්දුව ලබා දුන් 2011.08.25 දින සිට බල පවත්වන පරිදි පොලිස් අධිකාරි තනතුරට උසස්වීම ලබා දීමට පොලිස්පති නිර්දේශ කරනවා. නමුත් ඒක වුණේ නෑ. 2016 දී ලබා දෙන උසස්වීම අඟුලාන නඩු තීන්දුවේ දිනයට පෙර දාතම් කරන්නේ ඒ නිසායි.
ශානි අබේසේකර කියන්නේ මගේ කර්කශ විවේචනයට ලක් වුණු පොලිස් නිළධාරියෙක්. නමුත් සතුරෙකුට වත් අපේ අතින් වරදක් නොවිය යුතුයි. මට සාක්ෂි සහිතව මේ තොරතුරු ලැබුණු නිසා මම මේ නිවැරදි කිරීම කරන්නේ ශානිගේ විමර්ශන වල සැකකරුවන්ට වගේම ශානිටත් සාධාරණය ඉටු විය යුතු නිසායි.

One thought on “සී අයි ඩී ප්‍රධානියා ගැන ප්‍රකාශය ගම්මන්පිල ඉවත් කරගනී

  • September 12, 2017 at 11:39 am
    Permalink

    Gembanpila safe card gahaganna hadanawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close