පෙට් යන්ත්‍රය තවම නෑ / මුදල් එකතු කිරීමට හේතු වූ දරුවාත් මිය යයි

පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මුදල් එකතු කර මාස 16ක් ගත වුවද මේ වන තෙක් එය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම බලවත් අසාධාරණයක් බව එය මිලදී ගැනීමට මුදල් එකතු කිරීමට මූලික වූ එම්. මොහොමඩ් මහතා ඊයේ ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ දරුණු පිළිකා රෝගයකින් පෙළුණු ඔහුගේ පුතුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ජාවේදීයි.
මොහොමඩ් මහතාගේ පුතු එම්. උමෙයිඩ් මහතා පෙරේදා රාත්‍රියේදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.
දරුණු පිළිකා රෝගයකින් පෙළුණු තම පුතු මිය යෑමට පෙර පෙට් ස්කෑන් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහ‍ලේ ස්ථාපිත කිරීම දැකීම එකම බලා‍පොරොත්තුව වුවද එය ඉටුකර ගැනීමට නොහැකි වීම බලවත් කනගාටුවක් බව මොහොමඩ් මහතා සඳහන් කළා.
තම පුතුට වැළඳුණ දරුණු පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා වසර හතරක් පුරා පෙට් ස්කෑන් පරීක්ෂණ  දහයක් සිදු කළ අතර ඒ සියලුම පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් කළ බවත් එක් පරීක්ෂණයක් සඳහා ලක්ෂ එකහමාරක මුදලක් වැය වූ බවත් මොහොමඩ් මහතා සඳහන් කරනවා.
දුප්පත් පිළිකා රෝගීන්ට මෙතරම්  මුදලක් වැය කිරීමට නොහැකි බැවින් අපේක්ෂා රෝහලට “ පෙට් ස්කෑන්” යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා කටයුතු කරන්නැයි තම පුතු රෝගී වී සිටිය දී තමාට කළ යෝජනාවකට අනුව මෙම අරමුදල ආරම්භ  කළ බව මොහොමඩ් මහතා පැවසුවේ.
“පෙට් ස්කෑන්” යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මොහොමඩ් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ කදීජා පදනම අරමුදල් ආරම්භ කළ අතර ඒ සඳහා මාධ්‍ය මගින් කළ ප්‍රචාරයට අනුව මාස තුනක් තුළ ලංකා බැංකු ගිණුමට කෝටි 25කට අධික මුදලක් රැස් කර ගැනීමට හැකි වූ හැකිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close