අතුරුදන්වූවන් පිළිබද ගිවිසුම අතීතයට නෑ / අගමැතිගෙන් ප්‍රකාශයක්

අතුරුදහන් වූවන් පිළිබඳව සොයාබැලීමේ ගිවිසුම අනාගතයට බලපාන ආකාරයට සකසා තිබෙන බවත් කිසිවිටකත් එය අතීතයට බලනොපාන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පොල්පිතිගම ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයකදී වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා.

රටේ නීති පද්ධතිය සැමට එකහා සමානව ක්‍රියාත්මක කරවන්නේත් පොලිසිය නීතිය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන්නේත්, රටේ සියලුම ජනතාවට එකහා සමානව සැලකීමටයි. රටේ ජනතාවට එකහා සමානව සැලකීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර ඉන් එක් ගැටළුවක්. අනෙක් ගැටළුව නම් මේ රටේ ජනතාව විවිධ පැහැරගැනීම්වලට ලක්ව තිබීමයි.
1983 සිට අප රටේ භීෂණ සහ යුද්ධ ගණනාවක් පැවතුණා. ඒවාත් සමග බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් රටේ විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. එම පැහැරගැනීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට මේ වනවිට කොමිෂන් කිහිපයක්ම යොදවා තිබෙනවා.
යුද්ධය අවසන්වීමෙන් පසුවත් විවිධ කණ්ඩායම් මෙම පැහැරගැනීම් තවදුරටත් සිදු කළා. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් මෙවැනි පැහැරගැනීම් විශාල වශයෙන් සිදු කළා. පසුව අපේ ආරක්‍ෂක අංශවලට චෝදනා නැඟුවා. ඇතැම් පෞද්ගලික කණ්ඩායම් ද මෙම පැහැරගැනීම් සිදු කළා.
යුද්ධය මේ වනවිට අවසන්ව තිබෙන බැවින් එම පැහැරගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ඒවා තහනම් කිරීමට අවශ්‍ය පියවර අපි ගෙන තිබෙනවා. මෙලෙස බලහත්කාරයෙන් පැහැරගැනීම් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතියක් තිබෙනවා. බෙලහත්කාරයෙන් පැහැරගැනීම්වලින් සියලූ ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය ලෙස එය හඳුන්වනවාෙ මෙම සම්මුතිය හරහා එම බලහත්කාරයෙන් පැහැරගැනීම් අපරාධ ලෙස නම් කර ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා.
2005, 2006 කාලයන්හී සිට එම ජාත්‍යන්තර සම්මුතීන් සකස් කරන අවස්ථාවේදී ඔවුන් ඒ සඳහා මාගෙන් ද අදහස් විමසා සිටියා. නමුත් අපේ රටේ යුද්ධය පවතිනතුරු අපට මේ සඳහා අත්සන් කළ නොහැකි බව මා එදා පැවසුවා. චන්ඬිකා කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරුන්ද මේ කාරණා එලෙසින්ම පවසා තිබුණා.
යුද්ධය 2009 වසරේදී අවසන් වුණා. එම නිසා 2015 වසරේ දෙසැම්බර් මාසයේදී අප මේ ගිවිසුම අත්සන් කරමින් පාර්ලිමේන්තුවේ නීති කෙටුම්පතක් සම්මත කර ගත්තා. මෙහි පළමු වගන්තියට අනුව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ජනතාව ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර පනතට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය ප්‍රකාරව එය සහතික කිරීමේ දිනය සිට එම ගිවිසුම බලාත්මක වනවා.
එනම් මෙම ජාත්‍යන්තර ගිවිසුම ක්‍රියාත්මක වන්නේ එය කතා නායකවරයා අත්සන් කළ දිනයේ සිටයි. ඊට පෙර කාලයන් සඳහා එය ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙය අනාගතයට ක්‍රියාත්මක වූවත් අතීතයට බලපානු ලබන්නේ නැහැ. අනාගතයේදී කවුරුන් හෝ බලහාත්කාරයෙන් පැහැරගැනීමට ලක් වනවා නම් ඒ පිළිබඳව දැනුවත් කළ හැකිය. ආණ්ඩුව ඊට විසඳුම් ලබා නොදෙන්නේ නම් ජනතාවට අවශ්‍ය ඕනෑම පියවරක් අනුගමනය කළ හැකියි. අප මෙය ක්‍රියාවට නංවා තිබෙන්නේ ඒ ආකාරයටයි.
මගේ පැරැණි මිත්‍ර මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒ ගිවිසුම අතීතයටත් බලපාන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මෙම ගිවිසුමෙන් අතීතයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. අපේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ 13:6 වගන්තියේ, යෙම් ක්‍රියාවක් කළ හෝ නොකරන හැඟීමක් ඇතිවූ අවස්ථාවේදී එම ක්‍රියාව හෝ හැඟීම වරදක් නොවේ නම් ඒ ක්‍රියාව හෝ නොකරන හැඟීම සම්බන්ධයෙන් කිසිවෙකු වරදකරුවෙක් නොවිය යුතුයිෙ ලෙස සඳහන් වෙනවා.
එනම් තමන් මෙම වැරැද්ද කරන කාලයේ එය වරදක් නොවුණත් අපට පසුව එය අතීතයට බලපාන වරදක් ලෙස හැදින්විය නොහැකි යන්නයි ඉන් අදහස් වන්නේ.
2017 ඔක්තෝම්බර්, නොවැම්බර් මාසයන්ට පෙර කාලේ බලහාත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත නොහැකියි. මෙම ගිවිසුම බලපානු ලබන්නේ අනාගතයට පමණයි. මෙම ගිවිසුම තිබෙන්නේත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට යටත්වයි.
අනෙක් කාරණය නම් මේ ගිවිසුමෙන් කිසිදු අවස්ථාවක රටට වරදක් සිදු කර නැහැ. එහි හත්වන වගන්තියේ, මෛම ගිවිසුමට සහභාගී වන සෑම රජයක්ම අපරාධ සඳහා අදාළ නීති සම්මත කරගත යුතුයිෙ බව සඳහන් වනවා. එංලන්තය සහ ප්‍රංශය මෙයට සම්බන්ධවී සිටියත් මැදපෙරදිග කලාපයේ සහ ඉරාකයේ තවමත් යුද්ධය පවතින බැවින් ඇමරිකාව මෙම ගිවිසුමට සම්බන්ධ වී නැහැ. යුද්ධ අවසන්වීමෙන් පසුව රටවල් මෙම සම්මුතියට එකඟ වනවා.
මේ හරහා අපි වැරැද්දක් සිදු කර නැහැ. අපරාධ මැඩපැවැත්වීම අපේ යුතුකමක්. අපි මෙය ක්‍රියාවට නංවනවිට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 13:6 වගන්තියට අනුව එය අතීතයට බලපාන්නේ නැහැ.
මෙම ගිවිසුම ක්‍රියාත්මක විය යුත්තේ එය අත්සන් කළ දිනයේ සිට බව ගිවිසුමේ 39 වන වගන්තියේ සඳහන් වනවා. අපි මෙය අත්සන් කළේ 2015 දෙසැම්බර් මාසයේදීයි. ඒ අනුව බලහාත්කාරයෙන් පැහැරගැනීම් අපරාධයක් ලෙස නම් කර ක්‍රියාත්මක වන්නේ එය අත්සන් කිරීමෙන් පසුවයි. ඊට පෙර සිදුවූ අපරාධ කිසිවක් මෙම ගිවිසුම යටතේ පරීක්‍ෂණයට භාජනය කළ නොහැකියි.
මෙහි විශාලම ගැටළුව වන්නේ එක්නැලිගොඩ, තාජුදීන් ඝාතනය ආදී සිද්ධි සම්බන්ධවයි. නමුත් ඒ සඳහා සම්බන්ධ වූවායැයි මේ ගිවිසුම යටතේ කිසිවෙකුටත් නඩු පැවැරිය නොහැකියි. මෙම ගිවිසුමට තාජුදීන්ගේ සහ එක්නැලිගොඩගේ සිදුවීම් ඇතුළත් නොකළේ ඇයි දැයි සිවිල් සමාජය අපෙන් ප්‍රශ්න කරනවා. නමුත් ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමේදී අපට නීතිය වෙනස් කළ නොහැකියි. ඒ සඳහා අදාළ නීති පද්ධති වෙන වෙනම පිහිටා තිබෙනවා.
කෙසේ නමුත් බලහාත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධ පරීක්‍ෂණ අපි ක්‍රියාත්මක කරන්නේ 2017 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසුවයි. ජනාධිපතිතුමාත් මමත් ඒ බව තීරණය කර තිබෙනවා. අපේ රටේ යුද්ධයට සහභාගීවූ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවැරීමට අපට අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපතිතුමාත් මමත් ප්‍රකාශ කර තිබෙනවා. හරි වැරැද්ද කෙසේ වෙතත් අපට ඒවා ලංකාව තුළම විසදා ගත හැකියි. අපේ පොරොන්දු අපි කඩකරන්නේ නැහැ. ඒ වගේම පොරොන්දු වූ ආකාරයට අනාගතයේදී මෙවැනි බලහත්කාරයෙන් පැහැරගැනීම් සිදු නොවන ලෙස අප කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close