අනුරාධපුරයෙන් දිනකට නව වකුගඩු රෝගීන් 8ක්

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසුගිය වසර තුනක කාලය ඇතුළත වකුගඩු රෝගීන් අට දෙනකු දිනකට අලුතින් හමුවන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණ කරනවා.
මෙසේ හමුවන රෝගීන් අවුරුදු 20-65 අතර වයස් සීමාවන්ගේ පසුවන බවද පරීක්ෂණයන්ගෙන් හෙළිව ඇතැයි චන්න ජයසුමන මහතා සදහන් කළා.
වසර 2015 දී රෝගීන් 2600 ක්ද, 2016 දී රෝගීන් 900 ක් හා 2017 වසරේ මේ දක්වා කාලය රෝගීන් 2500 දෙනකු අලුතින් හඳුනා ගෙන ඇති අතර වකුගඩු රෝගයට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ ‍පොහොර හා පළිබෝධනාශකවල අන්තර්ගතව පවතින විස රසායනික ද්‍රව්‍ය බව පර්යේෂණ මගින් හෙළිව ඇතත් සේවයෙන් විශ්‍රාම ගිය වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නොමැති ඇතැම් මහාචාර්යවරුන් ගොවි ගම්මාන වෙත ගොස් ‍පොහොර හෝ පළිබෝධනාශක මගින් වකුගඩු රෝග නොවැළඳෙන බවට දේශන පවත්වමින් අසරණ ගොවීන් නොමග යවන බවට තොරතුරු හෙළිව ඇතැයිද වෛද්‍ය ජයසුමන මහතා පෙන්වා දෙනවා. මෙම විශ්‍රාමික මහාචාර්යවරුන්ට ‍පොහොර සමාගම් හා පළිබෝධනාශක සමාගම් මගින් එක් දේශනයක් වෙනුවෙන් විශාල මුදලක් ගෙවන බවටද තොරතුරු ලැබි ඇතැයිද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටින බවද ඔහු කියා සිටියා.
කෙසේ නමුත් ‍පොහොර සහ පළිබෝධනාශක, විස රසායනිකයන්ගෙන් අනූන බැවින් එයින් මිනිස් සිරුරට හානියක් නොවන බව කිසිවකුටත් කිව නොහැකි බවයි චන්න ජයසුමන මහතා අවධාරණය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *