ඇලෝසියස්ගෙන් එජාපය ආධාර ගෙන නැහැ – මලික් / කබීර් කොමිසමට කියයි

ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද  ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් සහ සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් අද සාක්ෂි ලබා දුන්නා.
2015 පෙබරවාරී මස 27 වැනිදා සිදු වූ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර 26 වැනිදා මහ බැංකුවේ පැවති රැස්වීමක් පිළිබද ප්‍රකාශ සටහන් කර ගැනීම සදහායි ඔවුන් කොමිසම වෙත කැදවා තිබුණේ.
අමාත්‍ය කබීර් හෂීම් මහතා එවකට මහාමාර්ග අමාත්‍යධුරය දැරූ අතර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අගමැති රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස එම සමයේදී කටයුතු කළා.
අමාත්‍ය මලික් සමරවික්‍රමගෙන් කොමිසමේ විනිසුරුවන් විමසුවේ මහ බැංකු නිලධාරීන් සමඟ මෙවන් රැස්වීමක් පැවැත්වීමට හේතුව කවරක්ද යන්නයි.
රජයේ ආර්ථික කමිටුව ගනු ලැබූ තීරණයක් හේතුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ මෙහිදී අමාත්‍යවරයා කියා සිටි අතර පසුගිය රජය සමයේ මහාමාර්ග ඉදිකිරිම වෙනුවෙන් ගෙවීම් සිදු කිරීම සඳහා මුදල් අවශ්‍ය බවට මහාමාර්ග අමාත්‍යංශය කළ ඉල්ලීම එයට හේතුවූ බවයි ඔහු කියා සිටියේ. මහාමාර්ග කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවිය යුතු මුදල ගැන සාකච්ඡා කිරීම එහිදී සිදුවූ බවත් බැඳුම්කර නිකුතුව ගැන එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී අවධාරණය කළා.
අමාත්‍ය මලික් සමරවික්‍රමගෙන් ප්‍රශ්න කිරීම විනාඩි 9කට සීමාවූ අතර නීතිපති දෙපාර්තමේන්තුව හෝ අනිකුත් පාර්ශවයේ නීතිවේදීන් ඔහුට කිසිදු ප්‍රශ්නයක් යොමු නොකිරීමත් විශේෂත්වයක්.
ඇමති මලික්ගෙන් අනතුරුව කබීර් හෂීම් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඔහුද පැවසුවේ මහාමාර්ග කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම කෙරෙහි එම සාකච්ඡාව පැවැත්වූ බවයි.
රුපියල් බිලියන 18ක් මහාමාර්ග කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය බව තම අමාත්‍යංශ නිලධාරීන් දැන්වූ බව පැවසූ ඔහු එම ගෙවීම් නොකිරීම නිසා මහාමාර්ග සංවර්ධන වැඩකටයුතු ඇනහිට තිබූ බවද කියා සිටියා.
පර්පෙටුවල් සමගම හෝ අර්ජුන ඇලෝසියස් එක්සත් ජාතික පක්ෂයට මුදල් ආධාර ලබාදී තිබේදැයි කොමිසම මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකයන් දෙපළගෙන් විමසූ අතර එහිදී අමාත්‍යවරුන් සදහන් කළේ එවන් කිසිදු මූල්‍යාධාරයක් එජාපය විසින් ලබාගෙන නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *