You are here
Home > උණුසුම් පුවත් > 2020 ත් පොදු අපේක්ෂකයෙක් / රාජිත හෙළිකරයි

2020 ත් පොදු අපේක්ෂකයෙක් / රාජිත හෙළිකරයි

2020 ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශවයෙන් නිසැක ලෙසම පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික පුවත්පතක් හා සංවාදයකට එක්වෙමින්. මේ එම සම්පූර්ණ සාකච්ජාවයි.

 ප්‍රශ්නය :- ආණ්‌ඩුවට අවුරුදු තුනහමාරක්‌. ඒත් ජනතාවට ආණ්‌ඩුව ලබා දෙනවා කියපු සහන දෙන්න බැරිවෙලා. දීපු සහනත් අඩු කරගෙන ඉන්ධන මිල වැඩි කරගෙන යනවා?

පිළිතුර :- ඉන්ධන මිල ගිය ආණ්‌ඩුවට වඩා අඩුයි තවමත්. ලෝක මිල අනුව ඉන්ධන මිල අඩු වැඩි කරනවා ඉදිරියට. අත්‍යවශ්‍ය ආහාරවල මිල වැඩිවීමක්‌ නැහැ. ඒවා බොහොමයක්‌ 2014 දෙසැම්බර්වලට වඩා අඩුවෙන් තියෙන්නේ. ඖෂධ මිල අධික ලෙස අඩුවුණා. ඒක ජනතාවට විශාල සහනයක්‌. අපේ රජය ලබාදුන් දහදාහේ දීමනාව මූලික වැටුපට එකතු වෙනවා. එළවළු එහෙම සමහර කාලෙට පොඩ්ඩක්‌ වැඩියි. ඒත් ඒවා කෙටි කාලීනයි. අද බලන්න ආණ්‌ඩුව ජනතාවට විශාල වශයෙන් සහන දීලා. සමෘද්ධිය දෙගුණ කළා. මහපොළ දෙගුණ කළා. ගෑස්‌ අඩුකළා. වැටුප් දහදාහකින් වැඩිකළා. දැන් බලන්න අපේ අමාත්‍යාංශයේ ලිපිකරුවන් පවා එන්නේ තමන්ගේම ඇල්ටෝ කාර්වලින්. එක රාජ්‍ය බැංකුවක ක්‍රෙඩිට්‌ කාඩ්වලින් පසුගිය අලුත් අවුරුදු මාසයේ ජනතාව රුපියල් බිලියන පනස්‌ හතරක්‌ වියදම් කරලා තිබෙනවා. මාධ්‍යවලින් කිව්වට ජනතාවට ප්‍රශ්න නැහැ. අපි අපේ ආසනවලට ගියහම ජනතාව කවුරුත් අපට ආර්ථික අපහසුතා කියන්නෙ නැහැ.

අපි බෙහෙත් අඩු කරලා තියෙනවා. මේ නිසා මිනිස්‌සු වැඩියෙන් බෙහෙත් භාවිත කරනවා. වෛද්‍යවරු, හොඳ තත්ත්වයෙන් උසස්‌ බෙහෙත් සාමාන්‍ය ජනාතවටත් නියම කරනවා. සමහර බහුජාතික ඖෂධ සමාගම් කිව්වේ ඖෂධ මිල අඩු කළාම සමාගම් වැහෙනවා කියලා. ඒත් ඔය කවුරුත් වැහුවේ නැහැ. දැන් හොඳට කරගෙන යනවා.

ප්‍රශ්නය :- රට පුරා පාතාලය හිස ඔසවලා. රට පුරා මිනීමැරුම්, මංකොල්ලකෑම් වැඩිවෙලා. ආණ්‌ඩුව මේ තත්ත්වය පාලනය කරන්න අපොහොසත් වෙලා?

පිළිතුර – 2014 දී සියලු අපරාධ සංඛ්‍යාව 57,135 යි. 2017 දී 35755 යි. මිනීමැරීම්, පැහැරගැනීම්, මංකොල්ලකෑම් එදාට වඩා අඩුයි. ඒත් පත්තරවල වාර්තාකරණය වැඩියි. අනිත් එක මිනිස්‌සුන්ට මතක නැහැ එදා වුණු දේවල්. බරපතළ හිංසා, මිනීමැරීම්, ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ එදාට වඩා අද අඩුවෙලා. කප්පම් ගැනීම්, ටිකක්‌ වැඩිවෙලා. මම මේ සේරම කියන්නේ සංඛ්‍යා ලේඛන අනුව.

ප්‍රශ්නය – විපක්‍ෂය චෝදනා නඟනවා ආණ්‌ඩුව පළාත් සභා මැතිවරණය කල්දාන්න උත්සාහ කරන බවට?

පිළිතුර – ඒ පිළිබඳ මත දෙකක්‌ තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ජනතා විමුක්‌ති පෙරමුණත් ඉන්නේ නව ක්‍රමයට යන්න කියලා. ඒ කියන්නේ කොට්‌ඨාස ක්‍රමයට. අනෙක්‌ සියලු පක්‍ෂ කියන්නේ පැරණි ක්‍රමයට යමු කියලා. අලුත් ක්‍රමය නිසා කුඩා පක්‍ෂවලට යම් අසාධාරණයක්‌ වෙනවා. ඒ නිසා අගමැතිවරයා ලබන සතියේ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවා ගන්න තීන්දුව අනුව තීරණයක්‌ ගන්නවා.

ප්‍රශ්නය – කවදද පළාත් සභා මැතිවරණය පවත්වන්නේ?

පිළිතුර – ඡන්ද ක්‍රමය වෙනස්‌ වෙන්නේ නැතිනම් ඉක්‌මනටම තියනවා. වෙනස්‌ වෙනවා නම් පාර්ලිමේන්තුවේදී පනතට නැවත සංශෝධනයක්‌ කරලා දෙසැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණය පවත්වනවා.

ප්‍රශ්නය :- පසුගිය කාලේ අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගැන ඔබත් ආණ්‌ඩුවත් කතා කළා. ඒත් අද ඒ ගැන වැඩි සද්දයක්‌ නැහැ? ඒ අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගෙන එනවද?

පිළිතුර – ඔව්. ඒත් අපි ගෙන එන්නේ සියලු පක්‍ෂවල සහයෝගය ගත හැකි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට තුනෙන් දෙකක වැඩි ඡන්දයක්‌ ඕන. එහෙම නැතුව ගෙන එන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසක්‌ විතරක්‌ වෙනස්‌ කරලා වැඩක්‌ නැහැ.

ඒකෙ සඳහන් වෙන්න ඕන විධායක බලතල පිළිබඳ ජාතික සංහිඳියාව පිළිබඳ වගේම මැතිවරණ ක්‍රමය පිළිබඳ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් විය යුතුයි.

ප්‍රශ්නය :- ජනතා විමුක්‌ති පෙරමුණ 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. ඔබ පක්‍ෂයක්‌ ලෙස ඊට සහාය දෙනවද?

පිළිතුර – 20 වැනි සංශෝධනයට ඡන්දය දීලා වැඩක්‌ නැහැ. ඒකෙන් සම්පූර්ණ ආණ්‌ඩුක්‍රම වෙනසක්‌ වෙන්නේ නැහැ. ඒකෙ විධායක බලතල ගැන විතරයි තියෙන්නේ… ඇත්තටම අද විධායකයේ බලතල ඉවත්වෙලයි තියෙන්නේ. අද විධායකය රටේ නීතියටත් යටත්, පාර්ලිමේන්තුවටත් යටත්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල අහෝසි කරලා. මූලිකවම ජනාධිපතිට තිබුණු අධික බලතල ඉවත් කරලා.

ප්‍රශ්නය – සමහරු කියනවා එදා මීට වඩා ප්‍රබල විදිහට විධායක ජනාධිපතිවරයා වැඩ කළා කියලා.

පිළිතුර – එදා විධායක ජනාධිපතිවරයා අතේ තමයි සියලු බලතල තිබුණේ. එදා ඔහුගේ මතය අවසන් මතය.

අද එහෙම නැහැ. අද පාර්ලිමේන්තුවේත්, කැබිනට්‌ මණ්‌ඩලයේත් අනුමැතිය ඇතිව ඔහුට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඔහුට තනියම තීන්දු ගන්න බැහැ.

ප්‍රශ්නය – ඔබ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය නැවතිය යුතුද? නැද්ද?

පිළිතුර – ජනාධිපති ක්‍රමයේ අධික බලතල ඉවත් විය යුතුයි. විධායක නොවන ජනාධිපති ක්‍රමයක්‌ ගැන සලකා බැලිය හැකියි. ඒක පාර්ලිමේන්තුව හා පළාත් සභා තුළින් තෝරා ගන්නවද නැතිනම් ජනතාවගෙන් තෝරා ගන්නවද කියලා බලන්න ඕන. මම කොහොමත් කැමැති පරණ පාර්ලිමේන්තු ක්‍රමයට.

ප්‍රශ්නය – ඒ කියන්නේ 1977 ට පෙර තිබූ ක්‍රමයද?

පිළිතුර – ඒකම නෙමෙයි. ආරක්‌ෂක අමාත්‍යාංශයේ බලතල, පළාත් සභා ගැන බලතල වගේ බලතල සහිත ජනාධිපතිවරයෙක්‌ හිටියට කමක්‌ නැහැ.

ප්‍රශ්නය – 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයෙක්‌ ගැන ඔබ කිව්වත්, එක්‌සත් ජාතික පක්‍ෂයේ මහා ලේකම්වරයා වගේම අනෙක්‌ ඇමැතිවරුත් කියන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමයි එජාප අපේක්‍ෂකයා කියලා?

පිළිතුර – ජුනි 11 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිවම කිව්වා මේ පාරත් පොදු අපේක්‍ෂකයෙක්‌ තමයි දාන්නේ කියලා. ඒ අනුව එක්‌සත් ජාතික පෙරමුණේ පක්‍ෂ හා බහුජන සංවිධාන ඒකරාශී කිරීම සිදු කරන්න කියලා ඔහු මට උපදෙස්‌ දුන්නා. ඒ අනුව මම කටයුතු කරගෙන යනවා. ඒ නිසා මම පැහැදිලිවම කියන්නේ ලබන පාරත් ඉදිරිපත් වෙන්නේ පොදු අපේක්‍ෂකයෙක්‌.

ප්‍රශ්නය – 2020 මෛත්‍රිපාල ජනාධිපතිවරයාම පොදු අපේක්‍ෂකයා හැටියට ගේන්න බැරිද?

පිළිතුර – ගේන්න පුළුවන්. ඒ වෙනකොට සියලු පක්‍ෂ බලවේග සියල්ල ඒක තීරණය කරන්න ඕන. පොදු අපේක්‍ෂකයෙක්‌ තෝරන්නේ අන්තිම මොහොතේ.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා ඔබට පොදු අපේක්‍ෂක වෙන්න කියලා 2015 ජනාධිපතිවරණයේ දී ආරාධනා කළ බව ඔබ වරක්‌ කියලා තිබුණා…?

පිළිතුර – රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම එයා තරග කරන්න හැදුවා. ඒත් මම එයාට තේරුම් කරලා දුන්නට පස්‌සේ පොදු අපේක්‍ෂක අවශ්‍යතාව. ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව එකඟ වුණා තරගයෙන් ඉවත් වෙන්න. ඔහු එය පිළිගත්තා ප්‍රජාතන්ත්‍රවාදීව. ඊට පස්‌සේ එතුමා මට ආරාධනා කරා “රාජිත ඔයා එන්න” කියලා. මම කිව්වා මට එහෙම මුදලක්‌ නැහැ. මට එහෙම එන්න බැහැ කියලා. එතකොට එතුමා කිව්වා මුදල් සේරම මං බලා ගන්නවා. මුළු පක්‌ෂයම දාලා ඔයාගේ කැම්පේන් එක කරන්නම් කියලා” රනිල් කිව්වා. ඔහු මට කිව්වා සුළු ජාතීන් සේරම එයාට ඉන්නවා. අනිත් එක ශ්‍රී ලංකා, යූ.එන්.පී. දෙකේම ඡන්ද ඔබට ගත හැකියි කියලා. මම කිව්වා මට වඩා ප්‍රබල ශ්‍රීලනිපයට බලපෑම් කළ හැකි කෙනෙක්‌ උත්සහ කරන්නම් කියලා.

එහෙම ගිහින් මම මේ ගැන මෛත්‍රිපාල සිරිසේන මහතාට කිව්වා. ඔහු කිව්වා ඔහුට ඉල්ලන්න බැහැ. හැබැයි සහයෝගය දෙන්නම් කියලා. මම ඔයත් එක්‌ක එන්නම්. හැබැයි මට ඉල්ලන්න බැහැ කියලා. ඒත් මම දිගටම බල කළහම ඔහු කිව්වා එහෙනම් මම ගෙදර අයගෙන් අහලා බලන්නම් කියලා දවසක්‌ කල් ඉල්ලුවා. පස්‌සෙ ඔහු කැමැති වුණා. ඒ ගැන මම රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නහම ඔහු පුදුම වුණා ඔයාට විශ්වාසද? එයා ශ්‍රී ලංකා එකේ ලේකම්නේ… කියලා රනිල් ඇහුවා. මම කිව්වා ඔව්… අපි ඒ වගේ කෙනෙක්‌ තමයි ඉදිරිපත් කරන්න ඕන කියලා. ඒ අනුවයි මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සඳහා ඉදිරිපත් වුණේ.

ප්‍රශ්නය – 2020 පොදු අපේක්‍ෂකත්වය ඔබට ලැබුණොත්..?

පිළිතුර – ඒක තීරණය කරන්නේ මම නෙවෙයි. එක්‌සත් ජාතික පෙරමුණේ පක්‍ෂ විසින් එය තීරණය කරන්නේ….

ප්‍රශ්නය – ඔබ ජනාධිපතිවරයා සමඟ සමීපයි. ඒ වගේම අගමැතිවරයා සමඟත් සමීපයි. කවර හෝ හේතුවක්‌ නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාත්, එක්‌සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔබ ගන්නේ කොයි පැත්තද?

පිළිතුර – මම එක්‌සත් ජාතික පෙරමුණේ සිටින්නේ. ජනාධිපතිතුමා මගේ යාළුවා. ඒත් ඒක මගේ දේශපාලනයට අදාළ නැහැ. මගේ තාත්තට මම ආදරෙයි. තාත්තා ඉස්‌පිරිතාලේ ගෙවන වාට්‌ටුවේ ඉද්දි රෑට මම ළඟ ඉන්නකොට මට නින්දයයි කියලා බයට මම බිම රෙද්දක්‌ දාගෙන නිදා ගත්තේ. ඒ තරම් තාත්තට ආදරෙයි. ඒත් මගෙයි තාත්තගෙයි දේශපාලනය වෙනස්‌. මගේ දේශපාලන දර්ශනය වෙනස්‌. ඒ නිසා කොහොම වුණත් මා ඉන්නේ එක්‌සත් ජාතික පෙරමුණේ.

ප්‍රශ්නය – ගෝඨාභය රාජපක්‍ෂගේ දේශපාලන ආගමනය ගැන ඔබ මොකද සිතන්නේ…?

පිළිතුර – අපට වාසි සහගතම තත්ත්වය තියෙන්නේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම්. හේතුව ඔහුට සුළු ජාතික ඡන්ද ලැබෙන්නේම නැහැ. අපි පටන් ගන්නෙම සියයට විසිපහක්‌ ඡන්ද අරගෙන. එතකොට අපට තව ගන්න තියෙන්නෙ ටිකයි. ඒ නිසා අපි නිකන්ම දිනනවා.

ඔබ මොකද මේ තරම් රාජපක්‍ෂවරු සමඟ තරහ…?

අපෝ මගේ තරහක්‌ නැහැ. බැසිල් මගේ පන්තියේ මිතුරා. අපි අතර තියෙන්නෙ ප්‍රතිපත්තිමය වෙනස්‌කම් විතරයි. පුද්ගලිකව අපි යාළුවෝ. 1960 ගණන්වල අග භාගයේ මහින්ද රාජපක්‌ෂට බෙලිඅත්ත ආසනය බණ්‌ඩාරනායක මැතිනිය ලබාදීපු වෙලාවේ මැතිනිය ද හමුවෙලා අපේ ගෙදර තමයි දවල්ට කෑම කන්න ආවේ. එදා මැතිනියගේ වැඩි කැමැත්ත තිබුණේ බෙලිඅත්ත චමල්ට දෙන්න. ඒත් මහින්දලගෙ අම්මා කියලා තිබුණේ වැඩිය මිනිස්‌සු එක්‌ක ඉන්නේ මහින්ද නිසා මහින්දට බෙලිඅත්ත ආසනය දෙන්න කියලා. එතකොට මැතිනි කියලා තිබුණා බණ්‌ඩාරනායක මහත්තයා ආණ්‌ඩුවෙන් යනකොට ඔයාගේ මහත්තයා තමයි එකටම ආවේ. ඒ හින්දා බෙලිඅත්ත රාජපක්‌ෂලට අපි වෙන්කරලා තියෙන්නේ. ඔයා කැමැති පුතෙක්‌ එතැනට දාන්න… අපිට ප්‍රශ්නයක්‌ නැහැ කියලා… රාජපක්‌ෂලා එක්‌ක මගේ තරහක්‌ නැහැ.

ප්‍රශ්නය :- ඒ කියන්නේ ආයිත් එකතුවෙයිද රාජපක්‍ෂලා එක්‌ක?

පිළිතුර – එකතු වෙන්න පුළුවන්. හැබැයි ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති වෙනස්‌ වෙන්න ඕන.

ප්‍රශ්නය – පුද්ගලික රෝහල්වල ගාස්‌තු හා ඒවායේ කටයුතු ගැන චෝදනා ගොඩයි. ඒත් ඒවා නියාමනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිසිs වැඩ පිළිවෙළක්‌ නැහැ?

පිළිතුර – ඉදිරි සති කීපය තුළ ඒක අපි පටන් ගන්නවා. පුද්ගලික රෝහල්වලට තිබුණු වැට්‌ බද්ද අහෝසි කරගන්න කල් එය ප්‍රමාද වුණේ…? හේතුව එයාලා කිව්වා එහෙම වුණොත් මේවා කරගෙන යන්න අපහසුයි කියලා. දැන් වැට්‌ ඉවත් කරලා.

ප්‍රශ්නය – නව නීති රීති යටතේ අභ්‍යන්තර අය කිරීම් නවත්වනවා. උපරිම මිලක්‌ හැමදේටම නියම කරනවා.

පිළිතුර – සැත්කම් වර්ගීකරණය කර ඒ ඒ සැත්කමට උපරිම මිලක්‌ නියම කරනවා. විශේෂඥ වෛද්‍ය ගාස්‌තු කියලා සැත්කම්වලට එනකොට හිතුණු හිතුණු ගණන් ගන්න බැහැ. ඒ සියල්ලම එකතු කර සැත්කමට උපරිම මිල නියම කළ විට සැත්කමෙන් පසු වැඩි ගාස්‌තු කියන්න බැහැ. මේ මගින් රෝගීන්ට විශාල සෙතක්‌ සැලසෙනවා.

ප්‍රශ්නය – වෛද්‍ය වාර්තා, වෛද්‍ය පරීක්‍ෂණ ආදියට විවිධ රෝහල් හා මධ්‍යස්‌ථාන හිතුණු හිතුණුq ගණන් අය කරනවා. මේකට පිළියමක්‌ යොදන්න බැරිද?

පිළිතුර – පුද්ගලික රෝහල් සඳහා අලුතින් පැනවෙන නීතිවලට මේ කොටසත් අයිතියි. එතැනදී අපි උපරිම මිලක්‌ පනවනවා. ඒ සඳහා යන වියදම බලලා. මේ කටයුතු ළඟදීම කෙරෙනවා. එතකොට ඕන ඕන විදිහට ගාස්‌තු අය කරන්න බැහැ.

ප්‍රශ්නය – ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් ගණනක්‌ වාර්තා වුණේ ඔබ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී… දැන් ඉන්ෆaලුවන්සාව රටපුරා පැතිරිලා තිබෙනවා?

පිළිතුර – ඩෙංගු රෝගය ලොව පුරා අනෙකුත් රටවල මීට වඩා දරුණුවට පැතිර තිබුණා. අප එය දැන් පාලනය කර තිබෙනවා.

ඉන්ෆaලුවන්සාව හැම අවුරුද්දෙම මේ කාලෙට එනවා. ඒක මේ වන විට අපි පාලනය කර තිබෙනවා. දැන් රෝගීන් සංඛ්‍යාව අඩුවෙමින් තිබෙනවා.

ප්‍රශ්නය – පිළිකා ඖෂධ සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ චෝදනා රැසක්‌ එල්ල වුණා. ඔබගේ නිලධාරීන්ටත් චෝදනා එල්ලවුණා?

පිළිතුර – පිළිකා ඖෂධ මාෆsයාවක්‌ පහුගිය කාලේ ක්‍රියාත්මක වුණා. ඒ හරහා ඇතැම් වෛද්‍යවරුන්ට ලැබුණු සන්තෝෂම් නැතිවුණා. මේවා පොඩි ඒවා නොවෙයි. රුපියල් ලක්‍ෂ ගණනින් ලැබුණු ඒවා. මම ආවට පස්‌සේ ඖෂධ නොමිලේ දෙන්න පටන් ගත්තහම සේරටම එක පාර වැදුණා.

සමහර ඖෂධ එක පාර ගන්නත් බැහැ. මුලින්ම ගන්නකොට ඒ වාගේ ප්‍රශ්න තිබේදැයි පරීක්‍ෂා කරනවා.

අනිත් එක සමහර සමාගම් ලත් අධික ලාභ අප නැවැත්තුවා. දැන් ලාභය තියාගන්න පුළුවන් සියයට විසිපහයි.

ඔය පිළිකා එන්නත් ප්‍රශ්නයේදී එතැන වංචාවක්‌ වුණු බවට ඔප්පු කළොත් ඔය චෝදනාවට ලක්‌වුණු නිලධාරියා සියලු තනතුරුවලින් ඉවත්වන බව මට දැනුම් දුන්නා.

ඉරාන බෙහෙත් ගත්ත එකේ ප්‍රශ්න තියෙනවා. ඉරානයට තියෙන සම්බාධක නිසා. ඒවා නිසා මෙරට ඉරාන තානාපති කාර්යාලයට පඩි ගෙවා ගන්නවත් බැරුව ඉන්නවා. සමහර ඖෂධ වර්ග මෙරටට ගෙනාපු විදිහවත් දන්නේ නැහැ. සමහර ඒවා හොරෙන් ගෙනැල්ලා. පිළිකා ඖෂධ විශේෂ තත්ත්වයන් යටතේ ගෙන ආ යුතුයි. මේවා ගැන මුකුත් නොදැන සමහරු මඩ ගහනවා.

රජයේ වෛද්‍යවරු 17,000 ක්‌ ඉන්නවා. හෙදියෝ 31,000 ක්‌ ඉන්නවා. රජයේ රෝහල් පැය 24 පුරා සේවා පවත්වා ජනතාවට සහන සලසන්න බැරිද?

පැය 24 පුරාම රෝහල් ක්‍රියාත්මකයි. ඒත් බාහිර රෝගී අංශ සියලු රොහල්වල ක්‍රියාත්මක කරාම ප්‍රවාහන පහසුකම් නැති නිසා වැඩක්‌ වෙන්නේ නැහැ. ඒත් අපි රාත්‍රියටත් හදිසි ප්‍රතිකාර සියල්ල කරනවා.

Top