රට යන ගෘහ සේවිකාවන්ට නිල ඇදුමක් නෑ / කාර්යාංශය කියයි

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සදහා නිල ඇදුමක් හදුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා.

විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බදවාගැනීම් කරනු ලබන ශ්‍රමිකයින් සදහාද ඒ ආකාරයේ නිල ඇදුමක් හදුන්වාදීමට නියෝග ලබාදී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළා.

මේ දිනවල සමාජ ජාල තුළ සැරිසරන කාන්තාවන් පිරිසක් නිල ඇදුමින් සැරසී රැකියා සදහා පිටත්ව යන බවට වන වාර්තාවන් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති බවද කාර්යාංශය සදහන් කළා.

කාර්යාංශය විසින් ලබාදෙන පුහුණු පාඨමාලාවලදී විදේශ රැකියා සදහා පිටත්වන විට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇදුමකින් පිටත්වීම සම්බන්ධයෙන් පමණක් දැනුවත් කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න