එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැදී සිටින්නන්ට පොදු සමා කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල නීති විරෝධීව රැදී සිටින ලාංකිකයින්ට එරටින් නීත්‍යානුකූලව ඉවත්වීම සදහා මාස 3ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.ලබන මස පළමු වැනිදා සිට නොවැම්බර් පළමුවනදා තෙක් මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක වනවා.
පොදු සමාකාලය තුළ එරට නීති විරෝධීව රැඳී සිටින්නන්ට නීත්‍යානුකූල ලෙස රැඳී සිටීමට අවශ්‍ය අවසරය ලබා ගැනීමට හා මව්බිමට පැමිණීමට බලාපොරොත්තු වන්නන්ට නාමික ගාස්තුවක් පමණක් ගෙවාඑරටින් පිටවීමටත් මේ යටතේ අවස්ථාව හිමිවනවා.

වීසා නීති උල්ලංඝණය කර එහි රැඳී සිටින්නන්ට දඩ මුදලකින් තොරව නීත්‍යානුකූල ලෙස රටින් පිටවීමට  මේ යටතේ අවස්ථාව හිමිවන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.
මේ වනවිටත්  වලංගු ගමන් බලපතක් ඇත්නම් අදාළ එමීර් බලධාරීන් වෙත යොමු වීමෙන් අවශ්‍ය සහන ලබාගත හැකි අතර ගමන් බලපත් අස්ථාන ගතවී හෝ නැතිවී ඇත්නම් පොලිසියට පැමිණිලි කරන්නැයි කාර්යංශය එහි නීත්‍යානුකූල නොවන අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගන්නා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ වෙනම කවුළුවක් විවෘතව   පවතින අතර එමගින් අවශ්‍ය සේවාවන් ලබාගත හැකියි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න