අධිකරණය මග හරින ජාලිය හා ඇපකරුවන් අල්ලන්න නියෝග

අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය හා ඔහුට ඇප ලබාදීමට ඉදිරිපත්වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) යලි නියෝග නිකුත් කළා.
2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරිය 2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.තම ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර දෙන මෙන් පසුව කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ජාලිය වික්‍රමසූරියට විදේශගත වීම සඳහා අවසර ලබාදුන්නද ඔහු මේ වන විට අධිකරණය මග හරිමින් සිටිනවා.

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න