පුද්ගලික වාහන ආනයනය පහත වැටෙයි

පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයනය පාලනය සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් 2018 නොවැම්බර් මාසයේ දී එම රථවාහන ආනයන වියදම පෙර මාසයට සාපේක්ෂව සියයට 34.8 කින් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

කෙසේ වෙතත් 2018 නොවැම්බර් මාසයේ පෞද්ගලික රථවාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 104.9 ක් ලෙසින් සටහන් වන අතර එය 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ අගය වන ඩොලර් මිලියන 62.2 හා සැසඳීමේ දී 68.7% ක වර්ධනයක් ලෙසින් සටහන් වේ.

මේ අතර 2018 වසරේ මුල් මාස 11 තුළ ආනයනය කරන ලද පෞද්ගලික රථවාහන සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 1,496.2 කි. මෙය 2017 වසරේ මුල් මාස 11 වටිනාකම වූ ඩොලර් මිලියන 677.4 හා සැසඳීමේ දී 120.9 ක ඉහළ යාමකි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ඉදිරි මාසවල දී තවදුරටත් පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න