65 පැනපු අය දේශපාලනයෙන් යා යුතුයි / වෙල්ගම කියයි

තමන් ඇතුලු අවුරුදු 65 ඉක්මවූවන් දේශපාලනයෙන් සමුගෙන තරුණයින්ට රට පාලනය කිරීමට ඉඩ දිය යුතු බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
මන්ත්‍රීවරයා කළුතරදී පැවැති ජනහමුවක් අමතමින් මේ බව කියා සිටියා.

“අවුරුදු 71ක් මේ රට පාලනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් දෙකයි. නමුත් මේ රට දියුණු වෙලා තියෙනවාද? මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාලෙ සංවර්ධනය කළ එකත් ඇත්ත. ඩී.එස්. සේනානායක මහත්තයාගෙ කාලේ ජනපද පිහිටවපු එකත් ඇත්ත. නමුත් ලෝකේ අනෙක් රටවල් සමඟ බලනකොට අපි තවම ඉන්නෙ ඉතාම දිළිඳු තැනකයි.

මේ රටේ ඉදිරි මැතිවරණවලදී කාන්තාවන්ට සුවිශාල මෙහෙවරක් ඉටුකළ හැකියි. මොකද ඡන්දය දෙන නොදෙන එක තීරණය කරන්නෙ කාන්තාවනුයි. 1965 – 70 කාලයෙදි ඩඩ්ලි සේනානායක මහතාව ගෙදර යැව්වේ කාන්තාවොයි.

දැන් කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතු කාලය උදාවෙලා තියෙනවා. දේශපාලනඥයෝ පත් කරන්න නෙවෙයි රට වෙනුවෙන් තීරණ තීන්දු ගැනීමට පෙරට පැමිණිය යුතුයි. රට හරි තැනට ගේන්න කටයුතු කළ යුතුයි.

මේ ආණ්ඩුව ඇවිත් දැන් අවුරුදු හතරක් ඉවරයි. මොනවද කරලා තියෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු හතරක් යනතුරු කිසි දෙයක් කළේ නැහැ. නමුත් මේ මෑත කාලයේදී ජනාධිපතිතුමා බොහෝම හොඳින් වැඩ කරන්න පටන් ගෙන තියෙනවා.

පාතාලය හුඟක් විනාශ කරගෙන යනවා. ඒක හොඳ දෙයක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට මම විරුද්ධ වුණා. ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වැඩ පටන්ගෙන තියෙනවා.

කොන්ද පණ තියෙන පාලකයෙක් අපට අවශ්‍යයි. මේ රටේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. ජනතාවට ආදරය කරන එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා විතරයි.

මහින්ද රාජපක්ෂ මහතාට හැර වෙල්ගම වෙන කාටවත් කඩේ යන්නෙ නැහැ. කවුරු කැමැති වුණත් අකැමැති වුණත් ඒ මගේ නායකයායි.”


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න