නවම් පුර ‍පසළොස්වක් පොහොය අදයි

නවම් පුර ‍පසළොස්වක් පොහොය දවස ශාසනික වශයෙන් ඉතාම වැදගත් වන පොහොය දවසක්. ඒ වගේම සම්බුද්ධ චරිතය සම්බන්ධයෙන් ඉතා වැදගත් සිදුවීම් මේ පෝය දිනයේ සිදුවෙලා තිබෙනවා. ඒ අතර ඉතාම වැදගත් සිදුවීම තමයි සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම. මෙම තනතුරු උන්වහන්සේලාට හිමි වූයේ සංසාරයේ බොහෝ කාලයක් තිස්සේ පුරන ලද පාරමිතා අනුවයි. එදා ධම් සභා මණ්ඩපයේ සිටි බොහෝ තෙරුන් වහන්සේලා මේ තනතුරු බලාපොරොත්තු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ තෙරුන් වහන්සේලා දෙනම සංසාරයේ පුරන ලද පාරමිතා දැක උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කර මේ තනතුරු පිරිනමා තිබෙනවා. ඒ අනුව සැරියුත් මහරහතන් වහන්සේ දකු‍ණත් සව් ලෙසත් ධර්ම සේනාධිපති ලෙසත් මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත් බුදුරජාණන් වහන්සේ වෙතින් හිමිකරගෙන තිබෙනවා.

උන්වහන්සේ පිළිබඳ තොරතුරු ත්‍රිපිටකයේ කුද්දක නිකායේ අපදාන පාලියේ සඳහන්ව තිබෙනවා.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ තථාගත අනුජාත ලෙසත්, තමන් වහන්සේගේ ධම්මචක්කය පවත්වන්නා ලෙසත් සැරියුත් මහරහතන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා. ශ්‍රාවකයින්ට සැරියුත් මහරහතන් වහන්සේ මවක් ලෙසත් දක්වා තිබෙනවා.

මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වමත් සව් ලෙස තනතුරු ලබා තිබෙනවා. උන්වහන්සේ ඍදිමත් භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර හිමිකරගෙන තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අභිධර්මය වගේ ගැඹුරු ධර්මය ඉතා විචිත්‍රවත් ලෙස දේශනා කිරීමට මුගලන් මහරහතන් වහන්සේ ඉතා සමත් මහරහතන් වහන්සේ නමක්.

මුගලන් මහරහතන් වහන්සේ තම ඍද්ධිය භාවිතා කර දිව්‍යලෝකයට වැඩම කළා. අපායටත් උන්වහන්සේ වැඩම කළා. ඒවායේ තොරතුරු මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට පැහැදිලි කළා. මිනිසුන් සුචරිතයට යොමුකර ගැනීමට එමඟින් උත්සාහ කළා.

සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ගිහි කාලයේ සිටම කල්‍යාණ මිත්‍රයින්. උන්වහන්සේලාගේ ගිහි නම් උපතිස්ස සහ කෝලිත. මේ දෙදෙනා අස්සජි මහරහතන් වහන්සේගෙන් බණ අසා බුදුරජාණන් වහන්සේ හමුවේදී පැවිදි බවට පත්වෙනවා.

නවම් පුර පසළොස්වක පොහෝ දින සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමයි. භික්ෂූන් වහන්සේලා මෙසේ හික්මිය යුතු යැයි සෑම බුදුවරයන් වහන්සේලාම දේශනා කරන අනුශාසනය ඕවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හඳුන්වයි.

සබ්බ පා පස්ස අකරනං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං

මෙහි අර්ථය වනුයේ සියලු පව් නොකිරීම, කුසල් දහම් වැඩීමත්, සිත දියුණු කිරීමත්ය. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියේද නවම් පුර පසළොස්වක් පො‍හෝ දිනයේය. ඒ අනුව මාරයාගේ ආරාධනය අනුව චාපාල නම් චෛත්‍ය ස්ථානයේදී තව මාස 03කින් පිරිනිවන්පාන බව බුදුරජාණන් වහන්සේ තීරණය කළහ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වන ලද්දේ ද නවම් පුර පසළොස්වක් පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා.

පරිවේණාචාර්ය හෙම්මාතගම පියදස්සි හිමි
ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන
කුඹුරුලෙන රජමහා විහාරය රිදීගම