Friday, September 20News That Matters

19 වන සංශෝධන දරුවා අපචාරයට ලක්වෙලා / ජනපති

යහපත් සහ පිරිසිදු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් තමා විසින් බිහිකළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාව පිළිබඳ විවාදයට  (21) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින්.

2015 ජනවාරි 08 වනදා සිය මැතිවරණ ප්‍රකාශය තුළින් මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව ඉතාමත් පිරිසිදු හා පාරිශූද්ධ චේතනාවෙන් මෙන්ම බලාපොරොත්තු රැසක් සමඟ ,පාර්ලිමේන්තුවේ 225 න් 215 දෙනෙකුගේම කැමැත්ත අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා තමා විසින් බිහි කරන ලද බව ජනාධිපතිවරයා සදහන් කළා.

19 වන සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කළ අතර එහි වගකිම්, ප්‍රතිපත්ති සහ මගපෙන්වීම පිළිබඳ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිළිව සඳහන්ව තිබුණ ද එම කිසියම්ම කරුණක් මෙතෙක් ඉටු වී නොමැති බව ජනාධිපතිවරයා කියා සිටියා.

 මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ තමා පසුගියදා පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශය පිළිබඳ ඉතා වැරදි අර්ථ කථනයක් ලබාදෙමින් සිදුකරන දැඩි විවේචන තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්කර ඇති විනිසුරුවරුන් පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති අතර තමාගේ ගැටලුව වන්නේ තමා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන විනිසුරුවරුන්ගේ නම් ප්‍රතික්ෂේප වීම පිළිබඳව බව ජනාධිපතිවරයා සදහන් කළා.

යම් විනිසුරුවරයෙකුගේ නමක් ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය එසේ වන්නේ ඇයි ද යන්න දැන ගැනීමට එම විනිසුරුවරුන්ට අයිතියක් ඇති බව පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ උසස්වීමක් අහිමිවන අවස්ථාවේ එසේ ප්‍රශ්න කිරීමට කම්කරුවෙකුට පවා ශුද්ධ වූ අයිතියක් ඇති බව කියා සිටියා.

මේ හේතුවෙන් එම විනිසුරුවරුන් තුළ ඇතිව ඇති අපේක්ෂා භංගත්වය සහ උසස්වීම් අපේක්ෂාවෙන් සිටින ඉදිරි පිරිස වෙනුවෙන් සාධාරණත්වයෙන් අපක්ෂපාතිත්වයෙන් යුත් ක්‍රමවේදයක් උදෙසා තමා එම මැදිහත්වීම සිදුකළ බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ප්‍රශ්නය කණපිට හරවා තමා පිළිබඳ වැරදි චිත්‍රයක් මවා පෑමට ඇතැම් පිරිසක් උත්සහ කරන බවයි පැවසුවේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න