ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 8 කින් ඉතා විශිෂ්ඨ ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23/02) සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමටද ශ්‍රී ලංකා පිළ සමත් වුණා.

මෙම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ආසියානු ටෙස්ට් වාර්තාවක්ද පිහිටුවා තිබෙනවා.

එනම් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් ප්‍රථම ආසියානු ටෙස්ට් කණ්ඩායම බවට පත්වෙමිනුයි.

දෙවැනි දිනය වන ඊයේ (22/02) දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා කඩුලු 8 ක් අතැතිව ලකුණු 137 ක් පිටුපසින් සිටියා.

අද දිනය ආරම්භයේ පටන්ම කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ලකුණු 197 ඉලක්කය වෙත ගෙනයාමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84 ක් ලබාගත් අතර ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හට හිමිවූ අතර තරගාවලියේ වීරයා බවට කුසල් පෙරේරා පත් වුණා.

දෙරට අතර පළමු එක් දින තරගය එළඹෙන මාර්තු 03 වන දින ආරම්භ වනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න