ඇෆ්ගනිස්ථානය T20 ලෝක වාර්තා රැසක් බිද හෙළයි

පන්දුවාර 20 යි 20 තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තාකරමින් තවත් ලෝක වාර්තා රැසක්ම පිහිටුවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ අයර්ලන්තයට එරෙහි 20 යි 20 තරගයේදීයි.
ඒ අනුව තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 තුල කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 278 ක්.
එය 2016 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ටේ්‍රලියාව රැස් කළ ලකුණු 263 ක වාර්තාව බිදහෙළීමක්.
මෙහිදී ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු හසතුල්ලා සසායි පන්දු 62කදී නොදැවී ලකුණු 162 ක් රැස් කළා.
එය 20යි 20 තරගයකදී පිතිකරුවකු රැස් කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
එසේම ඔහු තරගය තුල 6 පහර 16ක් එල්ල කළ අතර එය විස්සයි විස්ස තරගයකදී 6 පහර 14ක් එල්ල කරමින් ආරොන් ෆින්ච් තබා තිබූ වාර්තාව බිද හෙළීමක් වනවා.
මෙහිදී ඇෆ්ගනිස්ථානය පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 236ක සබදතාවයක් පැවැත්වූ අතර එය 20 යි 20 තරගයකදී කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ විශාලතම සබදතාවයයි.
මෙහිදී කණ්ඩායම් 2 විසින් ( ඇෆ්ගනිස්ථානය 278 / අයර්ලන්තය 194 ) ලකුණු 472 ක් ලබාගත් අතර එය 20 යි 20 තරගයකදී වාර්තාවූ 3වන වැඩිම ලකුණු ප්‍රමාණයයි.
මෙම තරගයේදී ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් කඩුලු 4ක් දවාගත් අතර ඒ සමග ඔහු අයර්ලන්තයට එරෙහි තරග 9කදී කඩුලු 24ක් දවාගෙන තිබෙනවා. එය 20යි 20 පන්දු යවන්නකු ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව දැක්වූ හොදම පන්දු යැවීම වනවා.ඒ අනුව ඔහු අයර්ලන්තයට යොමුකළ සෑම පන්දු 8කටම එක් කඩුල්ලක් දවාගෙන තිබීම විශේෂත්වයක්.
මෙහිදී අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටර්ලින් ලකුණු 91ක් ලබාගත් අතර එය අයර්ලන්ත පිතිකරුවකුගේ හොදම 20 යි 20 ඉනිමයි.
මෙම තරගය ඇෆ්ගනිස්ථානය ජයගනු ලැබුවේ ලකුණු 84කින්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න