ඉන්දීය ගුවන් නියමුවා යළි ඉන්දියාවට ළගාවෙයි

පකිස්ථාන අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් මීට සුළු මොහොතකට පෙර යළි ඉන්දියාවට භාරදෙනු ලැබුවා.(මාර්තු 01 රාත්‍රී 9.10)
ඒ ඉන්දු – පකිස්ථාන දේශසීමාවට අයත් අට්ටාර් වග් කලාපයේදීයි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මැදිහත්වීමෙන් පකිස්ථාන හමුදාව මෙම නියමුවා ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් වෙත භාරදීමටයි පියවර ගනු ලැබුවේ.

මේ අතර රතු කුරුස සංවිධානයට භාරදීමෙන් පසු අදහස් දක්වමින් අභිනන්දන් වර්තමාන් කියා සිටියේ පකිස්ථාන හමුදාව තමන්ට හොදින් සැලකූ බවයි.
එසේම පකිස්ථාන හමුදාව වෘත්තීමය හමුදාවක් බවත් ඔවුන්ට තමන් ස්තූති කරන බවත් අභිනන්දන් වර්තමාන් කියා සිටියා.
අද සවස 4ට අභිනන්දන් වර්තමාන් ඉන්දියාවට භාරදීමට නියමිත වුවද රතු කුරුස සංවිධානයේ නිලධාරීන් විසින් ඔහු වෛද්‍ය පරීක්ෂණ රැසකට ලක් කිරීම හේතුවෙන් එම කාලය ප්‍රමාදවී තිබුණා.
ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.සිය පුතු පිළිගැනීම සදහා අභිනන්දන් වර්තමාන්ගේ පියා ( හිටපු එයාර් මාර්ෂල්වරයෙක් ) හා මවද ( වෛද්‍යවරියකි ) පැමිණ සිටින බව වාර්තාවනවා.
සිය ගුවන් භටයා යළි මව්රටට ඒම පිළිබද ඉන්දියානුවන් දැඩි ප්‍රීතියකට පත්ව සිටින බවද එරට මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
මේ වන විටත් එම දේශසීමා කලාපයට බොහෝ පිරිසක් එක්රැස්ව මෙම නියමුවා පිළිගැනීමේ සූදානමකින් පසුවන බවද සදහන්.පකිස්ථානයේ ත්‍රස්ත ඉලක්ක වෙත පහරදීම සදහා කාශ්මීරයේ පකිස්ථාන කලාපයට පියාසර කරමින් සිටියදීයි මෙම නියමුවා සහිත මිග් 21 යානය ප්‍රහාරයට ලක්ව තිබුණේ.
පසුව ඔහු එම ගම්වාසීන් විසින් එරට ආරක්ෂක අංශ වෙත භාරදී තිබුණා.
ඔහුට භාරත රත්න සම්මානය ලබාදිය යුතු බවටද මේ වන විට ඉල්ලීම් රැසක්ම ඉදිරිපත්ව තිබෙනවා.
අභිනන්දන් වර්තමාන් යළි ඉන්දියාවට භාරදීමට පකිස්ථානය ගත් පියවරද ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව තිබෙනවා.
එම දෙරට අතර සැබෑ සාමයක් වෙනුවෙන් ගත් ප්‍රබල පියවරක් බවයි ජාත්‍යන්තරය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ඉන්දිය රජය පවසන්නේ තවදුරටත් පකිස්ථානයේ ත්‍රස්ත ඉලක්කවලට පහර දෙන බවයි.
එහෙත් එවන් අවස්ථාවකදී ඉන්දියාවට දැඩි ප්‍රතිචාර දක්වන බවයි පකිස්ථානය අවධාරණය කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න