ඔස්ට්‍රේලියාව තුල නව දෙමාපිය වීසා ක්‍රමය අප්‍රේල් 17 සිට

ඔස්ට්‍රේලියාවේ නව දෙමාපිය වීසා වර්ගය එළඹෙන අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර තිබෙනවා.

Temporary Sponsored Parent visa (subclass 870) නමින් හැඳින්වෙන මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා ඔස්ට්‍රේලියාවේ  වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිවන බව සදහන්.

Migration Amendment (Family Violence and Other Measures) Bill 2016 හෙවත් 2016 සංක්‍රමණික කටයුතු (පවුල් හිංසනය සහ වෙනත් ක්‍රියාමාර්ග) සංශෝධිත පනත පසුගිය වසරේ නොවැම්බර් 28 වන දින සෙනට් සභාව තුළදී සම්මත වීමත් සමග මෙම නව වීසා වර්ගය හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබුණු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු අමාත්‍ය David Coleman සදහන් කරනවා.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ගේ පවුල් නැවත එක් කිරීමේ (Family reunite) අරමුණින් ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගත් බව ද ආගමන කටයුතු අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව මේ සඳහා අයදුම්පත් යොමු කිරීම එළඹෙන අප්‍රේල් 17 දින සිට සිදුකළ හැකි බව නිවේදනය කර තිබෙනවා.

මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවනු ඇති අතර  එම වසර 5 අවසානයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට නැවත අයදුම් කිරීමෙන් තවත් වසර 5 ක ට වීසා ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන්.

ඒ අනුව වසර 10 ක් දක්වා කාලයකට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබාගැනීමට මෙම Temporary Sponsored Parent visa හරහා අවස්ථාව හිමිවනවා.

Temporary Sponsored Parent වීසා හරහා පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය වියදම් ඇතුළු සියළු වියදම් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අදාළ අනුග්‍රාහකයින් (දුව හෝ පුතා) විසින් දැරිය යුතුයි.

වසර 3 ක Temporary Sponsored Parent වීසා සඳහා $5,000 ක්ද, වසර 5 ක වීසා සඳහා  $10,000 ක්ද, වසර 10 ක වීසා සඳහා $20,000 ක්ද අය කිරීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න