ජපුර සරසවියේ INNOVATE SRI LANKA – 2019 ප්‍රදර්ශනය ඇරඹෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ INNOVATE SRI LANKA – 2019 ප්‍රදර්ශනය අද පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය අද පෙරවරුවේ ආරම්භ වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්යවරු, ආචාර්යවරු සහ විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතා ඇතුළු විද්වත්හු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක්වුණා.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශී කරමින්  විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලය විසින් සංවිධාන කරනු ලබන INNOVATE SRI LANKA – 2019 ප්‍රදර්ශනය හෙටින් අවසන්වීමට නියමිතයි.
මෙහිදී මුහුදු රළ බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන උපකරණය, ඩෙංගු රෝගය මර්ධනය කරන නව කළමනාකරණ ක්‍රමවේදය ,අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන හානි වැලැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය ඇතුලු නිර්මාණ රැසක් දැඩි අවධානයට ලක්වුණා.