ආණ්ඩුවේ අර්බුධයට හේතුව නන්දන ගුණතිලක හෙළිකරයි

ආණ්ඩුව අර්බුධයකට පත්ව ඇත්තේ එය අශුද්ධ සන්ධානයකින් නිර්මාණයවූ නිසා බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසනවා.
මේ ඔහු ඒ පිළිබද පල කළ අදහස්.

දෙදාස් දාහතරෙ දී ඔබ තමයි මුලින්ම යහපාලනය ගොඩනගන්න පෙරට ආවෙ. නැවත ඒ මොහොත මතක් කරන්න පුළුවන්ද ?

දිනය හරියටම කිව්වොත් දෙදාස් දාහතරෙ නොවැම්බර් මාසෙ දාහතර. හැබැයි මම එළියට එන්න හිටියෙ ඊට කළින්. නමුත් පොදු සාකච්ඡාවක් තිබුණා එවකට තිබුණු විපක්ෂය සහ විවිධ සංවිධාන අතර, ආණ්ඩුවේ කව්රුහරි ප්‍රධාන ඇමැතිවරයෙක් හෝ ප්‍රබල චරිතයක් පළමුව සන්ධානයෙන් එළියට ගත යුතුයි කියලා. ඒකයි මම එච්චර හරි ප්‍රමාද වුණේ.

හැබැයි ඔබට පෙර කිසිම ප්‍රබලයෙක් ඉදිරිපත් වුණේ නැහැනෙ ?

ඔව්. ඉල්ලා අස්වෙන්න බය වුණා.

ඒ කියන්නෙ දැන් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළීමේ කාර්යයේ පීතෘභාවය ගන්න උත්සාහ කරන අයත්, ඉල්ලා අස්වෙන්න ඉදිරිපත් වුණේ නෑ ඒ අවස්ථාවේ ?

ඔව්. අපි ගිහිල්ලා එවකට ආණ්ඩුවේ ඇමැතිවරුත් එක්ක සාකච්ඡා කරද්දි ඒ අය මගෙන් ඇහුවෙ මහින්ද රාජපක්ෂ මහත්තයා පරද්දන්න පුළුවන් ද කියලා. එතකොට මම කිව්ව දේ තමයි ඇමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාව පරද්දන්න පුළුවන්ද කියලා මගෙන් අහන්න එපා. ඕනෑ කරන්නේ පරද්දන්න නම් එන්න අපිත් එක්ක. එතකොට උත්තරේ හම්බවෙයි කියලා.
ඊට පස්සෙ මොකද වුණේ…

මම එළියට ඇවිත් ජවිපෙ හිටපු මන්ත්‍රීවරු පිරිසක් එකතු කරගෙන පළමු පෙරමුණ හැදුවා. පළමු පෙමුණෙන් තමයි ගොඩක් වැඩ කෙරුණෙ. ඊට පස්සෙ රතන හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පිවිතුරු හෙටක්, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය, වික්ටර් අයිවන් මහත්තයලා වැනි මාධ්‍යවේදීන් හදාගත්තු සංවිධාන ආදි වශයෙන් සංවිධාන ගණනාවක් පෙළ ගැසුණා. ඊට පස්සේ දේශපාලන පක්ෂ ගණනාවක් මේ වටා පෙළ ගැහුණා.

ඇත්තටම මේ සංවිධානවල ඇත්ත අරමුණ වුණේ මොකක්ද ?

මේ ඔක්කෝම එක අරමුණක හිටියා. ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම කියන වචනය තමයි අපි පාවිච්චි කළේ

එක පිරිසක් කිව්වා ඒගොල්ලො මහින්ද රාජපක්ෂව පරද්දන්න ගණන් හදලා තිබුණෙ කියලා. ඇත්තටම වේලපහ ඇඳපු ප්ලෑන් එකක් තිබුණ ද?

මම මුලිනුත් කිව්වා වගේ මේක කලින් පරද්දන්න පුළුවන් වෙයි කියන තැන ඉඳලා පටන් ගත්ත ව්‍යාපාරයක් නෙමෙයි. පැරදවිය යුතුයි කියන තැන ඉඳන් තමයි අපි පටන් ගත්තෙ. ඒ සාකච්ඡාවලදි කල් තබා ගණන් හදපුවා මොනවත් තිබුණේ නැහැ. මේ විදියට පරද්දන්න පුළුවන්, මේක තමයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය ආදි වශයෙන් ගණන් හැදීමක් හෝ එහෙම සැලැස්මක් කල්තබා හදාගෙන තිබුණෙ නැහැ.

ඒ වෙලාවෙ සාකච්ඡාවෙ තිබුණෙ නැද්ද සුළු ජන කොටස්වල ඡන්දය එක පැත්තකට යාම, ඒ පිරිස විරුද්ධව ඡන්දය දීම ගැන ?

අපිට තිබුණු විග්‍රහය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගන්න බැහැ කියන එක. දෙමළ ජනතාව බහුතරයක් ප්‍රභාකරන් එක්ක හිටියත් නැතත්, යුද්ධය නිසා තමන්ගෙ දරුවො අහිමි වුණා කියන හැඟීම ඔවුන් තුළ තිබුණා. ඒ නිසා දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයට ඡන්දය දෙන්න තිබුණු පෙලඹීම ඉතාම අවමයි. මුස්ලිම් ජනතාව තුළත් අවසාන කාලෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධව සහ රජය සම්බන්ධයෙන් අප්‍රසාදයක් තිබුණා. අපි ගණනය කරල තිබුණා මුස්ලිම් සහ දෙමළ ඡන්ද වැඩි පංගුව අනිවාර්යයෙන්ම මේ හැදෙන ව්‍යාපාරයට එකතු කරගන්න පුළුවන් කියලා.

මේ වෙනකොටත් ඔබලාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හිටියෙ නෑ නේද?

ඔව්. අපේක්ෂකයා කව්ද කියලවත් දන්නෙ නැතුව තමයි අපි මේක පටන් ගත්තෙ.

හැබැයි ඒ වෙලාවෙ යෝජනා වුණා නේද නම් කිහිපයක් ?

මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම යෝජනා වුණා. හැබැයි තව නම් දෙකකුත් යෝජනා වෙලා තිබුණා.

ඒ කව්ද?

කරු ජයසූරිය සහ ශිරාණි බණ්ඩාරණායක.

ඇයි වෙනත් නම් යෝජනා වුණේ. මෛත්‍රීපාල මහත්තයා ගැන දෙගිඩියාවකින්ද හිටියෙ ?

ඔව් දෙගිඩියාවක් තිබුණා.

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපේක්ෂකයා හැටියට ඉදිරිපත් නොවුණා නම් කාවද අපේක්ෂකයා කරන්න හිටියෙ ?

කරු ජයසූරිය මැතිතුමාව. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්ක ළඟ බැඳීමක් තිබුණා කරු ජයසූරිය මහත්තයාට. සෝභිත හාමුදුරුවො ගොඩක් උත්සාහ කළා කරු ජයසූරිය මැතිතුමාව ගේන්න. අපිත් උත්සාහ කළා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සම්බන්ධව ලොකු විශ්වාසයක් අපිට තිබුණෙ නැහැ.

ඇයි කරු ජයසූරිය මහත්වයාව අපේක්ෂකයා කරන වැඩේ වැළකුණේ ?

මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමේ ව්‍යාපාරයට ත්වරණයක් ලබා දෙන්න නම් ආණ්ඩුවේම ප්‍රබලයෙක්ව ගලවලා ගත යුතුයි කියලා විපක්ෂයේ සංවිධාන අතර සාකච්ඡාවක් තිබුණා ඒකයි.

හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපේක්ෂකයා හැටියට එළියට එනවා…?

ඔව් මම නොවැම්බර් දාහතර එළියට බහිනවා. හෙළ උරුමය නොවැම්බර් දහනව වැනිදා එළියට බැස්සා. මෛත්‍රීපාල මහත්තයා නොවැම්බර් විසිඑක එළියට බැස්සා. ඒ තමයි ප්‍රධාන අවස්ථා තුන.

ඔය අතරෙ දින සීයෙ වැඩපිළිවෙළ හැදෙනවා.. ඇත්තටම දින සීය වැඩපිළිවෙළ කාගෙද ?

දින සීය සාමූහික වැඩපිළිවෙළක්. ඒකට කණ්ඩායම් හැම එකක්ම දායක වුණා. සමහර අය මේවයේ අයිතිවාසිකම් කියනවා වෙන්න පුළුවන් දැන්. නමුත් දින සීයෙ වැඩපිළිවෙළ විවිධ කණ්ඩායම්වලින් පෝෂණය වුණා. නමුත් මුස්ලිම් කොංග්‍රසය හෝ බදියුදීන් මහත්තයාගේ පක්ෂය ඒ වෙනකොට අපිත් එක්ක එකතු වෙලා හිටියෙ නෑ. ඒ නිසා ඔවුන් මේකට සම්බන්ධ නැහැ.

දින සීයකදි මේ ටික කරමුයි කියලා කවුද අදහස් කළේ ?

ඒ ඉලක්කම සම්බන්ධයෙන් නම් මට එහෙම මතකයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වැඩි බරක් මේකට වැටුණා කාල සීමාව තීරණය කරද්දි. මම හිතන්නෙ එතැනින් ආපු ඉලක්කමක් වෙන්න ඇති.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැන් කියනවා දින සීයෙ වැඩපිළිවෙළ මෝඩ වැඩක්, කරන්න බැරි වැඩක්. කව්ද දන්නෙ නෑ මේක හදපු එකා. මම දන්නෙත් නෑ. මම මේකට වග කියන්නෙත් නෑ කියලා…?

මමත් හිතනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොඩ්ඩක්වත් ඒක ගැන දන්නෙ නැහැ කියලා. මොකද මම ඉස්සෙල්ලා කියපු කණ්ඩායම් තමයි ඒ වැඩේ හිටියෙ.

ඔබ දින සීයෙ ආණ්ඩුවේ ප්‍රබලයෙක්. මොකද ඔබ ඒ දවස්වල ජාතික විධායක කමිටුවේ සාමාජිකයෙක්. ඒ විධායක කමිටුවෙන් තීරණාත්මකව කෙරිච්ච වැදගත් දේ මොකක්ද ?

ඇත්තටම ජාතික විධායක සභාව කියන්නෙ රටට වැදගත් දෙයක් ලබා දුන්න සාකච්ඡාවක් නෙමෙයි. ඒක රාජ්‍ය බලය අත්පත් කර ගත්තාට පස්සෙ ඒ සදහා දායක වෙච්ච අයට කතා කරන්න හැදිච්ච වේදිකාවක් පමණයි. එතැන සාකච්ඡා කරපු දේවල් හරහා විශේෂ ප්‍රතිඵලයක් මහජනයාට හෝ රටට හෝ ලැබුණෙ නැහැ. එතැන සිද්ධ වුණේ ආණ්ඩුව හදපු පිරිසට තමන්ගෙ දුක්ගැනවිල්ලක් කියාගන්න, තමන්ගෙ යෝජනාවක් කරගන්න තැනක් හැදුණ එක විතරයි. අවසාන කැඳවීම කරපු දවස වෙනකල්ම න්‍යාය පත්‍ර ටික මං ළඟ තියෙනවා. ජාතික විධායක සභාව මැදිහත් වෙලා කරපු දෙයක් නෑ.

ජාතික විධායක සභාවෙන් චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනියවත් වේගයෙන් අයින් වුණා නේද?

එතුමිය ක්‍රමක්‍රමයෙන් ඉවතට තල්ලු වෙලා ගියා. ඒක එතුමියගේ කැමැත්තෙන් වෙච්ච දෙයක් නෙමෙයි. එතුමියට ආරම්භයේදී තිබුණු ඉඩ පසුව නැති වුණා. ඒක එතුමියට පමණක් නෙමෙයි, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයටත් සිද්ධ වුණා. පළමු පෙරමුණටත් ඒක වුණා. සමාජ සංවිධාන විදියට එකතු වෙච්ච හැමෝටමත් ඒක වුණා.

එතුමිය ඒ ගැන කණස්සල්ලෙන්ද ඉවත් වුණේ ? අරගල කළේ නැද්ද එතුමිය ඒ ගැන?

නැහැ. එතුමිය අරගලයක් කළේ නැහැ. අපි හිටපු රැස්වීම් වාර ගණනාව අැතුළතදී ඇය අදහස් කිහිපයක් ප්‍රකාශ කළා. ඒ ඇරෙන්න එතුමියට එතැන යම් බලයක් අවශ්‍යයි කියලා ප්‍රකාශ වුණේ නැහැ කවදාවත්. ඉල්ලා හිටියෙත් නැහැ. එතුමියට ජාතික විධායක සභාව අත් හැරෙමින් ගියා වගේම අත් හැරියා.

මේ මොහොත වෙනකොට ඇගේ වටිනාකමක් ඇත්තෙම නැද්ද ?

මම හිතන්නෙ මොනවත්ම ඉතුරු වෙලා නැහැ.

ජාතික විධායක සභාවේ ජවිපෙත් හිටිය ද ?

ඔව් හිටියා. අනුර කුමාර දිසානායක මහත්තයා මගේ මුහුණට මුහුණ වාඩි වෙලා හිටියා. එතුමා දූෂණ මර්දනය සම්බන්ධයෙන් ගොඩක් කරුණු ඉදිරිපත් කළා.

එෆ් සී අයි ඩී වැනි ආයතන හදන්න යෝජනා වුණේ ජාතික විධායක සභාව මගින්ද ?

දූෂණ මර්දනය සහ දූෂණය පිළිබඳව පරීක්ෂණ කළ යුතුයි කියලා එතැන දැඩිව සාකච්ඡා කළා. මමත් එතැන නිතර කතා කරපු මාතෘකාවක් ඒක. නමුත් එතැන එෆ්.සී.අයි.ඩී වගේ ආයතනයක් හැදීම පිළිබඳව සාකච්ඡාවක් වුණේ නැහැ. ඒවා අභ්‍යන්තරිකව සිදු වූ දේවල්. සමහර විට එක්සත් ජාතික පක්ෂය සහ ළඟින් ගනුදෙනු කරපු ප්‍රබල චරිත කිහිපයකුත් හිටියනේ. එවැනි චරිත එකතු වෙලා ගත්ත තීරණයක් වෙන්න පුළුවන්. මම හිතන විදියට එෆ්.සී.අයි.ඩීය හදන්න ජනතා විමුක්ති පෙරමුණ යම් මැදිහත් වීමක් කළා.

ඔබ කිව්වා එෆ්.සී.අයි.ඩීය හදන්න ජනතා විමුක්ති පෙරමුණ යම් මැදිහත් වීමක් කළා කියලා…?

අනුර කුමාර දිසානායක ඇමැතිවරයෙක් විදියට ඉන්න කාලෙ ඔහුගෙ අමාත්‍යංශයේ වගකීමක් දරපු කෙනෙක් එෆ්.සී.අයි.ඩී වැනි ආයතනයක තනතුරකට පත්වුණා. ඔවුන් යම් මැදිහත් වීමක හිටියා කියන එකට හොඳම සාක්ෂියක් ඒක.

එතකොට ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන තීරණය ජාතික විධායක සභාවට ඉදිරිපත් කරලා ආපු මතයක් නේද ?

ඒක එතැන සාකච්ඡා කළා. නමුත් තීරණයක් විදියට නෙමෙයි. ඒක තිබුණේ එකඟතාවයක් විදියට. තනුව ඒකමයි. වචනවලින් කියවෙන දේ ඒ ආකාරයෙන්ම දෙමළ භාෂාවෙන් ඉදිරිපත් විය යුතුයි කියන අදහසේ තමයි අපි හිටියෙ.

මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වුණේ ?

ඉතිහාසයේ සිද්ධ වෙච්ච තුවාල සුව කර ගන්න ඕන කියන අදහස තමයි අපට තිබුණෙ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ජාතික විධායක සභාවෙ හිටියා. එතුමා කියනවා සිද්ධ වෙච්ච බොහෝ දේවල් දන්නෙ නැහැ කියලා. එතුමගේ පාලනයෙන් බැහැරව ගියා කියලා කියනවා. ඇත්තද ඒ චෝදනාව…

ජාතික විධායක සභාවේ හැම සාකච්ඡාවකටම එතුමා හිටියනේ. එතුමම තමයි එතැන සභාපතිත්වය දැරුවෙ. එතුමා ඔය කිසි දේකට විරුද්ධ වුණේ නැහැ. දහනව වෙනි සංශෝධනය ගෙන ආ යුතුයි කියන තැන එතුමා තදින් හිටියා. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම පිළිබඳව එතුමා තදින් හිටියද කියලා මට මතක නැහැ. නමුත් ඒකට විරුද්ධ වුණේ නැහැ.

මේ ක්‍රියාදාමයට මුලින්ම ආපු කෙනත් ඔබ. ජාතික විධායක සභාවෙන් මුලින්ම ඉවත් වුණෙත් ඔබ…?

නැහැ. ජාතික විධායක සභාව දැනුම් දීමකින් තොරව අහෝසි වුණා. ඇත්තටම ජාතික විධායක සභාවට අපි කණ්ඩායමක් විදියට ඇතුළත් වෙන්නෙ ජනාධිපතිතුමාගෙ මැදිහත් වීමෙන්. එතුමා තමයි අපිට ආරාධනා කළේ ඒකට එන්න කියලා. අවසානයේ විසිරී යනවා මිසක් අදින් පස්සේ රැස් වෙන්න ඕන නැහැ කියලා තීරණයක් ගත්තෙ නැහැ.

ආණ්ඩුව මේ තත්ත්වයට පත්වෙන්න තරම් තත්ත්වය අවුල් වුණේ කොහොමද ?

මේක අශුද්ධ සන්ධානයක්නෙ. එහෙම එකක් ඇතුළෙ හැම වෙලේම සමාන දේවල් කතා කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. වෙනස් අදහස් ගැටෙන්න පටන් ගත්තා ආරම්භයේ සිටම. ඒක එන්න එන්නම පුළුල් වීමක් තමයි තිබුණෙ.

ඔබතුමාට හිතෙන විදිට මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයයි මේ කාලයයි අතර පෙනෙන පැහැදිලි වෙනස මොකක්ද?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලෙ තිබුණු තත්ත්වයට වඩා තාම හොඳයි කියලා මම හිතනවා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය එදා තිබුණාට වඩා වැඩියෙන් තියෙනවා. ඒක තමයි මම දකින ප්‍රධානම දේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ සමයේ ග්‍රාමසේවක දක්වාම, සමෘද්ධි නියාමක දක්වාම තිබුණු දූෂණය දැන් නැහැ. ඒකයි මම දකින වෙනස.

රාජ්‍ය සේවකයන්ගේ සහ නිලධාරීන්ගේ කාර්ය සාධනය ගැන මොකද හිතන්නෙ ?

ඔව්. ඒ පැත්තෙන් ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට. මොකද නැවත ආණ්ඩුව වෙනස් වෙයි කියන අවිනිශ්චිතතාවය ඇතුළෙ ලේකම්වරුන්ගේ සිට පහළට යම් කල්බැලීමක් කළා. ඒ අය වේගයෙන් වැඩ කළේ නැහැ. ඒ අය අලුත් ආණ්ඩුවේ දේශපාලන වුවමනාව අනුව වැඩ කළේ නැහැ. ඒක කාලයත් එක්ක ටික ටික වෙනස් වුණා. දැන් කලින්ට වඩා වැඩ කරනවා. නමුත් උපරිම ධාරිතාවයෙන් රාජ්‍ය සේවකයන් වැඩ කරනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා.

ඔබ නගරාධිපතිවරයෙක් විදියට පහුගිය දවස්වල කියලා තිබුණා තමන්ගෙ නගර සභාවෙ ඉන්නෙ දූෂිතයො කියලා ..?

ඇත්තටම මගේ කලින් නගරාධිපති පාලන කාලෙ 2011 -2014 කාලෙදි මට සිද්ධ වුණා ඒ සම්බන්ධයෙන් ලොකු අරගලයක් කරන්න. ඒ අරගලය ඇතුළෙ මට පුළුවන් වුණා ඒ දේවල් වෙනස් කර ගන්න. ඒ කියන්නෙ උදේ වැඩට ඇවිල්ලා චෙක්රෝලෙ නම දාගෙන වැඩ පරීක්ෂකවරුන්ගේ වුවමනාවට හෝ වැඩ පරීක්ෂකවරුන්ගෙන් ඉඩ ඉල්ලගෙන වෙන තැන්වල ගිහිල්ලා වැඩ කරනවා. නගර සභාවෙන් දවසේ වැටුප වැටෙනවා. පිට තැන්වල ගිහිල්ලා එතැනිනුත් කුලියක් මලියක් කර ගන්නවා. ඒක මම සම්පූර්ණයෙන් වෙනස් කරලා එහෙම නොවන තත්ත්වයක් නිර්මාණය කළා. ඊට පසුව පළාත් පාලන ආයතන විසුරුවා හැරලා අවුරුදු තුනක පමණ කාලයක් නිලධාරී පාලනයේ තිබෙන කාලේ නැවත මේක ක්‍රමාණුකූලව වර්ධනය වෙලා තිබෙනවා. ඒකට බලපාලා තිබෙන්නෙ පානදුර නගර සභාවේ ඉහළ නිලධාරීන්ගේ දූෂිත තත්ත්වයන්.

ඇයි නගරාධිපති හැටියට මේවා පාලනය කරන්න බැරි..?

ඒකට ප්‍රධාන හේතුව අපිට අඩියටම ගිහිල්ල කලින් වතාවේ වගේ හොයා බලන්න බැරි වීම. මොකද සභාපතිවරයෙකුට කරන්න සිද්ධ වෙලා තිබෙන වැඩ ප්‍රමාණය ගත්තාම ඒකෙන් සියයට හැත්තෑ පහක් විතර තිබෙන්නෙ අත්සන් කරන්න. තේරුමක් නැති කාලයක් ඒකට යනවා. ලේකම්වරයා ළඟට ඇවිත් නතර වෙන්න ඔන ෆයිල් ප්‍රමාණයකුත් සභාපතිවරයා ළඟට එනවා. ඒ නිසා සභාපතිට කාලයක් නැහැ ක්ෂේත්‍රයේ ඇවිදලා හොයලා බලලා වැඩ කරන්න. මන්ත්‍රී මණ්ඩලය උනන්දු වෙනවා නම් යම් ප්‍රමාණයකට මේක නතර කර ගන්න පුළුවන්. නමුත් තාම අපිට බැරි වෙලා තිබෙනවා එතැනට යන්න.

ඔබතුමාට මුලින්ම හිටපු පක්ෂය ගැන මොකද හිතෙන්නෙ දැන්..?

ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසිකව පැවරිච්ච කාර්යභාරය ඉෂ්ට කරන්න බැරි තරමේ පක්ෂයක් බවට දැන් ක්ෂීණ වෙලා තියෙනවා. ඊට ඓතිහාසිකව පැවරිච්ච කාර්යභාරය තමයි මේ සමාජය විප්ලවීය ලෙස වෙනස් කිරීම. ඒ කාර්යය කළ හැකි ව්‍යාපාරයක් ලෙස එය දැන් පවතින්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් හැටියට පරිවර්තනය වෙලා තිබෙනවා කියලා තමයි පෙනෙන්න තිබෙන්නෙ.

රාජිත සේනාරත්න ඇමැතිතුමා ප්‍රසිද්ධ රැස්වීමකදි කිව්වලු මට උඹව අසූ නවයෙදි අහුවුණා නම් ඉතුරු කරන්නෙ නැහැ කියලා. එතකොට ඔබතුමත් කිව්වලු මට උඹව අහුවුණා නම් ඒත් එච්චර තමයි කියලා. ඇත්තද ඒ කතාව?

ඒ මොහොතේ තිබුණු නිශ්විච තත්ත්වයන් යටතේ එහෙම වෙන්න තිබුණා. එතුමාට මාව හම්බ වුණා නම් එතුමා මාව ඉතුරු කරන්නෙ නැහැ. මට එතුමාව හමුබවුණා නම් මං එතුමාව ඉතුරු කරන්නෙත් නැහැ. එදාට සාපේක්ෂව ඒක සත්‍යයක්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.