මරාගෙන මැරුණු මිනීමරුවන් ගැන තොරතුරු රැසක් හෙලිවෙයි

පසුගිය ඉරිදා කොච්චිකඩේ,කටාන හා මඩකළපුව ප‍්‍රදේශවල සිදුවූ ප‍්‍රහාරවලට සම්බන්ධව මිය ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකුගෙන් අටදෙනෙකුම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇතැයි ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පවසනවා.

මෙම ප‍්‍රහාරය සිදුකළ සංවිධානයේ සාමාජිකයින් ශ‍්‍රී ලංකාවේ ධනවත් පවුල්වලට අයත් විදේශයන්හි උසස් අධ්‍යාපනය ලැබූ අය බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇතිබව ද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විදේශ මාධ්‍ය සඳහා අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා අනාවරණ කළා.

මෙම පිරිසට විදේශ මූල්‍ය ආධාර හා විදේශ පුහුණුව ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මෙම ප‍්‍රහාරය පිළිබඳව සැකපිට පුද්ගලයින් 60 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඉන් 32 කුගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න කරමින් සිටින බවද ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා සදහන් කළා.

 ශ‍්‍රී ලංකා බුද්ධි අංශ එක්සත් ජනපදය,ඉන්දියාව, ඔස්ටෙ‍්‍රිලියාව බ්‍රිතාන්‍යය ආදී රටවල බුද්ධි අංශ සමඟ සමීපව කටයුතු කරන අතර ඇමරිකන් ඒෆ්. බී අයි. පරික්ෂණ නිළධාරීන්ද පසුගිය ඉරිදා මෙරට සිදුවු බෝමිබ ප‍්‍රහාරයේ පරික්ෂණ පැවැත් වීමට පැමිණ සිටින බවද අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවා.ඉදිරි දින කිහිපය තුළ මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගැනිමට හැකිවෙතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න