නව මැතිවරණ හා පරිපාලන ක්‍රමයක් අවශ්‍යයි – දර්ශන තන්ත්‍රීගේ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පෙන්නුම්කල කාරණයනම් ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම ජන්ද දායකයින් බහුතරය ද දේශපාලනිකව නොමේරූ පිරිසක් බවය. ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයට වයස අවුරුදු 80 කට ආසන්න වුවත් රටක් ලෙස තවමත් එම ක්‍රමය ජනතාවාදිව යොදාගෙන නැති බව දේශපාලඥයින්ගේ සහ ජන්ද දායකයින්ගේ යන දෙපාර්ශවයේම භාවිතාවෙන් පෙනෙන්නට ඇත.පිළිගතයුතු සත්‍යය නම් ශ්‍රී ලංකාව දේශපාලනිකව අස්ථාවර බවය. එය ඔලුගෙඩි හෝ ආණ්ඩු මාරුවකින් වෙනස් වන්නේ ද නැත. සිදුවන්නේ තවදුරටත් අස්ථාවර වීම පමණමය.
අද වනවිට ක්‍රියාත්මක 19 වන ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග නිදහසින් පසු 21 වතාවක් රටේ මුලික නීතීය අඩංගු ලියවිල්ල වන ව්‍යවවස්ථාව වෙනස් කිරිම් සහ සංශෝධනය කිරිම් සිදුකර ඇතත් අදටද එය රටට අවශ්‍ය පරිදි සිදුවි නැති බව 19 සංශෝධනයේ හිල් වලින් ද අලුත් ව්‍යවස්ථාවක් සහ 20 වන සංශෝධනයක් ගැන කතා බහ තුලින් ද පෙනෙයි.රටක ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ එකම මුලික කාර්ය වාර්ෂිකව ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථා ගෙන ඒම නොවන බව ඔවුන් තේරුම්ගත යුතුව ඇත.කෙසේ නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය 78 ව්‍යවස්තාව තුළ බිහිවු උමතු දරුවකු බව දැන් තහවුරු වී අවසන්ය. 19 ව්‍යවස්ථාව තුළින් බලසම්පන්න අගමැතිවරයකු බිහිකර ඇති අතර ඔහු පාර්ලිමේන්තුවේ 113 කට පමණක් වගකියන්නකු වෙයි. පාර්ලිමේන්තුවට තේරිපත්වු මහජන නියෝජිතයින් අතරින් බහුතරයේ විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයා විසින් සිතන කෙනා අගමැති ලෙස පත්කලද ඔහු ඉවත් කිරිම හිතන තරම් පහසු නැත. ඇමතිවරයකු ඉවත් කිරිමට අගමැතිවරයාගේ නිර්දේශය අත්‍යාවශ්‍ය වී ඇත.පට්ටපල් හොරෙකු වුව අගමැතිට ලැදිනම් අගමැතිගේ කැමැත්ත නැතිව ඔහු ඉවත් කල නොහැක. ඒ සදහා ඇති එකම ක්‍රමය වන විශ්වාස භංගය ද ප්‍රායෝගික තත්වයේදි අගමැති වරයාගේ අභිමතයට අනුව සිදුවන බවය. මෙය ඉතාම අහිතකර තත්වයකි. පවත්නා තත්වය නුසුදුසු හෙයින් මේ සදහා කල්පවත්නා ජනතාවද පිලිගන්නා වු නව ක්‍රමයක අවශ්‍යතාවයක් ඇත.සමාජයට හෝ දේශපාලකයන් බහුතරයට යන පීල්ලෙන්ම යනු විනා විකල්ප අදහසක් නැති බව පෙනෙයි.
අපේ රටේ ව්‍යවස්ථාව පරිදි උත්රිතර වන්නේ අ‍ධිකරණය හෝ විධායකය හෝ ව්‍යවස්ථාදායකය නොව මහජන පරමාධිපත්‍යයි. මෙය රටේ ජනාධිපති මෙන්ම අගමැති සහ ඇමති මණ්ඩලය පත්කිරිම ද පරමාධිපත්‍ය බලය හිමි ජනතාවටම භාර කෙරෙන මැතිවරණ ක්‍රමයක් ගැන ඉදිරිපත් කෙරෙන සංකල්පයකි.

ජනාධිපතිවරයා,අගමැතිවරයා,සහ ඇමතිමණ්ඩලයේ ඉතිරි 29 දෙනා එකම දිනකදි ජනතා ජන්දයෙන් තෝරාගැනිම මෙම යෝජිත ක්‍රමයයි. ජනාධිපතිවරණය යන මැතිවරණය වෙනුවට විධායකවරණය ලෙස එම මැතිවරණය සංශෝධනය විය යුතුය. අපේ රටේ බොහෝ දෙනා සිතා සිටිනුයේ විධායකය යනු ජනාධිපතිවරයා පමණක් බවයි. නමුත් අගමැති සහ ඇමති මණ්ඩලය ද විධායකයට අයත්ය. රාජ්‍ය අමාත්‍ය කැබිනට් නොවන අමාත්‍ය ආදි සිනිබෝල තුටු පඩුරු රටට අවශ්‍ය නැත. එම අමාත්‍යධුර සකස් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 හදා ගැනිම සදහා සැනිසිලි ත්‍යාග ලෙස පඩුරු දිමක් වශයෙනි. රටේ තීන්දු තීරණ ගනුයේ කැබිනට් මණ්ඩලය නිසා ඇමතිවරු සිටිය යුත්තේ ව්‍යවස්ථාවේ සදහන් 30 පමණි. නියෝජ්‍ය අමාත්‍යවරු යනු ඇමතිවරුන්ගේ කටයුතු පහසු කරගැනිමට පත්කරගන්නා කණ්ඩායමක් නිසා ඔවුන් ගැන පහතින් වෙනම සාකච්ඡා කරමි.
විධායකවරණය
විධායකය තෝරා ගැනිම සදහා පැවැත්වෙන මැතිවරණය විධායක වරණය නම් වෙයි. රාජ්‍ය නායකයා සහ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ජනතාව විසින් මෙමගින් පත්කර ගනියි.කිසියම් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රයේ ජනාධිපති අපේක්ෂකයා ඔහුගේ අගමැති අපේක්ෂකයින් දෙදෙනෙකු නම් කරයි. එමගින් රටේ ජනතාව වඩාත් කැමති පුද්ගලයා අගමැති ලෙස පත්වෙනු ඇත.ජනාධිපති මෙන්ම අගමැති පත්කරගැනිමට ද මුළු රටේම ජනතාව ජන්ද ප්‍රකාශ කරයි.
එක් එක් පරිපාලන දිස්ත්‍රික්ක මැතිවරණ දිස්ත්‍රික්ක බවට පත්කල යුත්තේය. සෑම දිස්ත්‍රික්කයකින්ම අමාත්‍ය මණ්ඩලයට එක් අයකු නම් කල යුත්තේය. ඊට අමතරව ජනගහනය වැඩිම දිස්ත්‍රික්ක වලින් ඉතිරි අපේක්ෂකයන් නම්කල යුත්තේය. පසුගිය කාලයේ අත්දැකිම් අනුව ජනතාව අකමැති බොහෝ පුද්ගලයන් තමන් ජන්දය දුන් ආණ්ඩුවල ඇමතිධුර දැරුහ. තවද කැබිනට් ඇමතිවරුන් තීරණ ගනු ලබන්නේ මුළු රටටම බලාපන ආකාරයෙන් නිසා ඔවුන් තෝරාපත්කිරිම මුළු රටේම ජනතාවට භාරකල යුතුය.ඒ සදහා අතිරේක තුන් දෙනෙකුගේ නම් ඇතුලත්ව ඇමති මණ්ඩලය නාමයෝජනා පත්‍රයට ඇතුලත් කරනු ලබයි. මේ ලැයිස්තුව තුළ අතිරේක නම්තුන ඇතුලත් කරන්නේ ජනතාව අකමැති මුද්ගලයන් සිටිනම් ඒ කෙනා/දෙදෙනා/තිදෙනා ප්‍රතික්ෂේප කිරිමටය. මේ අනුව නිදසුනක් සලකා බලමු. X නැමති පක්ෂයේ ජනපති අපේක්ෂකයාට කැමති ජන්ද දායකයාට එහි Xa හෝ Xb යන අගමැති අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුට ජන්දය දී කැමැත්ත ප්‍රකාශ කල හැකිය. ( අගමැති අපේක්ෂකයන් දෙදෙනාගෙන් අඩු ජන්ද ගනන ලබාගන්නා කෙනා කැබිනට් මණ්ඩලයට ඇතුලත් වේ)
එම අපේක්ෂක ලැයිස්තුවේ සිටින යම් දිස්ත්‍රික්කයක් නියෝජනය කරන කැලැ කපන පුද්ගලයකු X18, ද යම් දිස්ත්‍රික්කයක සමාජ විරෝධි ජාවාරම් වලට හා දුෂණ වලට සම්බන්ධ අයකු X29 ද යම් දිස්ත්‍රික්කයක රටේ සංස්කෘතියට පරිබාහිර හෝ අන්තවාදි අයකු X 32 ලෙස සිටියිනම් ඒ තිදෙනා හෝ එක් අයකු හෝ දෙදෙනෙකු ප්‍රතික්ෂේප කිරිමට හෝ කැමතිනම් ප්‍රතික්ෂේප නොකර සිටිමට ජන්ද දායකයාට හැකිය. ඇමති මණ්ඩලය සම්බන්ධව X ප්‍රකාශ කිරිම ඔවුන් ප්‍රතික්ශේප කිරිම සදහාය.
මේ අනුව රටේ සමස්ත ප්‍රතිපලය අනුව බහුතරය කැමති කන්ඩායම ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුව පිහිටුවන්නේ ජනතා කැමැත්තෙනි. රට පුරා වැඩිම වශයෙන් ප්‍රතික්ශේප වු තිදෙනා හැර ඉතිරි අය ආණ්ඩුවේ ඇමතිවරු වෙති. කිසියම් කණ්ඩායමක අපේක්ෂකයන් කිසිවකු ප්‍රතික්ශේප වී නැත්නම් ඇමතිධුර නොදිය යුතු තිදෙනා තීරණය කිරිම ජනාධිපතිට සහ අගමැතිට භාරය. යම් ඇමතිවරයකුගේ ධුරය හිස්වු අවස්ථාවක එම ජනතාවගෙන් ප්‍රතික්ශේප වී නැති තිදෙනාගෙන් අයෙක් පත් කිරිමට ද හැකිය.
ජයග්‍රාහි කණ්ඩායමේ යම් අපේක්ෂකයෙක් සමස්ත ජන්ද දායකයාගෙන් 20% ක් හෝ ඊට වැඩි පිරිසක් විසින් ප්‍රතික්ශේප කර ඇත්නම් කැබිනට් මන්ඩලයේ ඇතිවන පුරප්පාඩු සදහා හෝ නම් කිරිමට සුදුසුකම් නොලබයි.කෙසේ නමුත් යම් ජයග්‍රාහි කණ්ඩායමක අපේක්ෂකයන් වැඩි පිරිසක් ජන්ද දායකයින්ගෙන් 20% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් විසින් ප්‍රතික්ශේප කර ඇති විටක එසේ ප්‍රතික්ශේප නොවුනු 30 කට වඩා අඩු පුද්ගලයන් ප්‍රමාණයෙන් සැදුම්ලත් කැබිනට් මණ්ඩලය පිහිටුවිය යුතුය. මේ මගින් ජනතාවාදි ආණ්ඩු අපේක්ෂා කරයි. මේ මගින් ජනාධිපතිවරයාගේ සිට කැබිනට් මණ්ඩලය දක්වා සියල්ලන්ම ජනතාව විසින් පත්කර ඇති අතර ජනතාවට වගකිව යුතු වන්නේය. එමෙන්ම පවුල්වල සාමාජිකයින් හෝ ගජමිතුරන් හෝ මැතිවරණ පරාජිතයන් තම අන්තේවාසිකයන් හෝ තම ලබැදි පුද්ගලයන් හෝ හොර පාරෙන් ඇමති පුටුවලට ගෙන තමන්ට අභිමත පාලනයක් ගෙනයාමට කිසිදු පාලකයකයකුට ඇති ඉඩ කඩ ඇහිරෙන්නේය. මෙය හැබෑම ජන සම්මතවාදය ද වන්නේය. තවත් අතකින් ගතහොත් වර්තමානයේ රටේ ගමනට විශාල බාධාවක්ව ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතිකර තිබෙන කඹ අදින ජනපති -අගමැති ක්‍රමයට ඇති සුදුසුම විකල්පය ද මෙය වන්නේය.
මැතිවරණයකදි මෙම අපේක්ෂක කන්ඩායමට රට ගොඩනැගිමට ඇති හැකියාව සහ වැඩපිලිවෙල ඉදිරිපත් කිරිමටත් ඒ ගැන වැඩි අවධානයක් යොමුකිරිමටත් සිදුවන්නේය. තවද දැනටත් කිලිනොච්චි, මුලිතිව්,යාපනය, වව්නියාව, ත්‍රීකුනාමලය, මඩකලපුව,පුත්තලම,මාතලේ වැනි දිස්ත්‍රික්කවලට කැබිනට් ඇමතිවරයෙක් නැත. ඒවායේ ජිවත්වන ජනතාවට ඇති ගැටළු සදහා ආණ්ඩුවලින් ඉටුවීමට ඇති සම්භාවිතාව කෙතරම් අඩුද? ලංකාවේ වෙසෙන බහුතරය නොවන ජනවර්ගවල ජනතාව වෙසෙනෙ ප්‍රදේශවල දේශපාලනය කරන දේශපාලකයන් බොරු වාර්ගිකත්වයක් ඉස්මතු කර අන්තවාදය වපුරා ජන්දය දිනිමේ ක්‍රමයක් වර්තමානයේ අනුගමනය කරයි. මෙම යෝජිත ක්‍රමය තුළ ඒ ඉඩකඩ සම්පුර්ණයෙන්ම අහුරා දැමෙන අතර එවන් අන්තවාදි මතවාදයක් දරන්නකුට කිසිදා කැබිනට් මණ්ඩලයට හෝ ඇතුලත්වීමේ වරම අහිමිවෙයි. ඒ රටේ බහුතර ජන්ද දායකයා ඔහු ප්‍රතික්ශේප කිරිමට ඇති ඉඩකඩ නිසාවෙනි. තවද ජනතාව විසින් පත්කල ආණ්ඩුවේ අය වැය හෝ විශ්වාස භංග පාර්ලිමේන්තුවේ මුළු නියෝජනයෙන් 2/3 බහුතරයකින් මිස පරාජය කල නොහැකි විය යුතුය.ඒ මත ජනතාව පත්කල ආණ්ඩුව අස්ථාවර වීම වැලකෙයි.

පාර්ලිමේන්තුව

ලංකාවේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් 225 ක් අවශ්‍ය නැත.සමස්ත ජනතාව ලක්ෂ දෙකහමාරකට එක් මහජන නියෝජිතයකු බැගින් පාර්ලිමේන්තුවට 100 දෙනෙකු ප්‍රමාණවත්ය.මෙයින් 60% තරුණ සහ කාන්තා වන පරිදි නීතී සංශෝධනය විය යුතු අතර පාර්ලිමේන්තුව නියෝජනය කිරිම සදහා දේශපාලන ප්‍රවිනතාවය පිලිබද පරික්ෂනයක් සමත් විය යුතුය. මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පරීක්ෂණ විභාගය විධිමත්ව සකස්කර පැවැත්වීම සුදුසුය. (මේ සදහා මැතිවරණ පනත සංහෝධනය කලයුතු වෙයි.) මේ මගින් හුදු ජනප්‍රියත්වය හෝ මුදල් බලය පමනක් ඇති දේශපාලන දැනුමක් දැක්මක් නැති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිනිම වැලැක්වීමට හැකි අතර ගුණාත්මක පාර්ලිමේන්තුවක් අපේක්ෂා කරයි. මෙම පත්කරගැනිම් සිදුවන අයුරු මෙසේය. නිදසුනකට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්ෂ 10 නම් එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට සිව් දෙනෙකු (04ක්) පත්වෙයි. දේශපාලන පක්ෂ සහ ස්වාධින අපේක්ෂකයන් සියළු දෙනා එකම ලැයිස්තුවකින් තරග කරයි. නිදසුනකට 150 ක් මේ සදහා කරග කලා යැයි සිතමු. අකාරාදි පිලිවෙලට ඔවුන්ට 1-150 දක්වා අංක හිමිවෙයි. දිස්ත්‍රික්කයෙන් පත්කලයුතු සිව් දෙනාගේ අංක සදහා ජන්ද දායකයා මනාප ප්‍රකාශ කරයි.ඒ අනුව දේශපලපාලන පක්ෂය කුමක් වුවද ජනතාව වඩාත් කැමති පුද්ගලයන් 100 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.ඒ ඒ දේශපාලන පක්ෂ තමන්ගේ අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරනු ඇත.ජනතාවට වැදගත් වන්නේ දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරවීම නොව තමන්ට වඩාත් සුදුසු මහජන නියෝජිතයා පත්කර ගැනිමය.
1989 සිට මෙතෙක් පත්වු ආණ්ඩු පැහැදිලි 113 ක බහුතරය ගත්තේ අවස්ථා දෙකකදි පමනි. ඒ දෙකම සුවිශේෂි අවස්ථාය. එකක් 88-89 කලබල අවස්ථාව වු අතර අනෙක 2010 යුද්ධය අවසන් වු අවස්ථාවයි. පවත්නා සමානුපාතික ක්‍රමයට පාරිල්මේන්තුවේ තනි පක්ෂයකට හෝ සන්දානයකට කිසිදා 113 ක බහුතරය හදා ගැනිමට ඇති අපහසුතාවයට ඇති එකම විසදුමද මෙයම පමනි.

නියෝජ්‍ය අමාත්‍යවරු

කැබිනට් අමාත්‍යවරුන්ගේ කටයුතුවලට සහාය සදහා සෑම අමාත්‍යාංශයකටම එක බැගින් වු නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 ක් සෑම දිස්ත්‍රික්කයකටම එක බැගින් 25 ක් සහ ඉතිරි 05 කුසලතාවය/ සහ වැඩි මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් පත්වන දිස්ත්‍රික්කවලින් ලෙස පාර්ලිමේන්තුවට තේරිපත් වු මන්ත්‍රීවරුන් අතරින් පත්කර ගත යුතුය. කැබිනට් මණ්ඩලය 30 ට වඩා අඩුවු අවස්ථාවකදී ද අමාත්‍යාංශයට එක බැගින් නියේජ්‍ය අමාත්‍යවරුන් පත් කෙරෙන අතර එය කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ඇත. එකම අමාත්‍යාංශයක ඇමතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා එකම දිස්ත්‍රික්කයකින් පත් නොකල යුතුය.එමෙන්ම තමන්ගේ අමාත්‍යාංශයේ කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට නියෝජ්‍ය ඇමති ධුරයට වඩාත් සුදුසු මන්ත්‍රීවරයෙකු නිර්දේශ කිරිමට කැබිනට් ඇමතිවරයාට හැකිවිය යුතුය.

උත්තරීතර මණ්ඩලය

සෑම පරිපාලන දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි 25 කින් සැදුම්ලත් මණ්ඩලයක් තිබිය යුතුය. ජනාධිපති ඇතුළු කැබිනට්ටුව විසින් එය පත්කරන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ වල නිර්දේශයෙන් 5 දෙනෙක් ද එයට ඇතුලත් කර ගැනිම සුදුසුය.මෙහි සමාජිකයින් සෘජුව දේශපාලනයට සම්බන්ධ අය නොවිය යුතුය. මේ මණ්ඩලයේ කිසිවකුත් ක්‍රියාකාරි පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවිය යුතුය. මේ අය එක් එක් කේෂෙත්‍රවල ප්‍රමාණික දැනුමින් සහ ප්‍රායෝගික දැනුමින් ප්‍රබුද්ධ විය යුත්තෝය. පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත්/පළාත් සභා විසින් යෝජනා කරන නව ප්‍රඥප්ති අධ්‍යයනය කර එහි ගුණදොස් පිලිබද පුළුල්ව විමසා වඩාත් නිවැරදි පනත් බවට පත්කර ගැනිමත්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා මනාව අධ්‍යයනය කර වඩා හරවත්,අර්ථවත් ඒවා බවට පත්කර ගැනිමට නිර්දේශ සංශෝධන ඉදිරිපත් කිරිමත් මෙම මණ්ඩලය මගින් විය යුත්තේය. දූෂණ චෝදනා, අල්ලස් චෝදනා, වංචනික කටයුතුවලට සම්බන්ධ කිසිවකුත් මෙම සභාවේ සාමාජිකයන් නොකල යුත්තේය. (අධිකරණයේ ඔප්පු වී තිබුණද නැතද) කිසියම් පනතක් හෝ කැබිනට් පත්‍රිකාවක් හෝ පළාත් සභා ප්‍රඥප්තියක් මගින් ජනතාව අගතියට පත්ව ඇති විට මෙම මණ්ඩලය නිසි ලෙස කටයුතුකර නොමැති බවට තහවුරුකල හැකිනම් මෙම මණ්ඩලයට/අදාල සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරිමට ජන්ද දායකයාට හැකි අතර එම නඩු මාස 03 ක් තුළ අසා නිම කර අදාල දඩුවම් පමුණුවන ආකාරයට නීතී සංශෝධනය කල යුත්තේය.මේ මගින් ජන සම්මතවාදය තහවුරු වනු ඇත.

පළාත් සභා –

පසුගිය 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ පනත අනුව පළාත් සභා මැතිවරණ පැවැත්විම සහ පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යාම සුදුසුය. මෙම පනතට සංශෝධනයක් එක්කරමින් තරුණ හා කාන්තා නියෝජනය 60% තෙක් ඉහල දැමිය යුතුය. පළාත් සභා නියෝජනය කිරිම සදහා දේශපාලන ප්‍රවිනතාවය පිලිබද පරික්ෂනය සමත් විය යුතුය. එම මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පරීක්ෂණ විභාගය විධිමත්ව සකස්කර පැවැත්වීම සුදුසුය. (මේ සදහා මැතිවරණ පනත සංහෝධනය කලයුතු වෙයි.) මේ මගින් හුදු ජනප්‍රියත්වය හෝ මුදල් බලය පමනක් ඇති දේශපාලන දැනුමක් දැක්මක් නැති පුද්ගලයන් පළාත් සභාවලට පැමිනිම වැලැක්වීමට හැකි අතර ගුණාත්මක පළාත් සභාවක් අපේක්ෂා කරයි. තවද පළාත් සභාවන් විසින් මහජන මුදල් මගින් කරනු ලබන කාර්යයන් ඵලදායි ද නැද්ද යන්න මධ්‍යම රජය විසින් නිසියාකාරව නියාමනය කල යුතුව ඇත. මහ නගර සභා/ නගර සභා/ ප්‍රාදේශිය සභා පළාත් පාලන ආයතන වල සභික ධුර සංඛ්‍යාව 8500 සිට 4000 දක්වා අඩුකර පවත්වාගෙන යායුතුය. සීමා නීර්ණය මගින් වෙන්කල බොහෝ කොඨිටාශ 2ක් එකතු කර එක් කොඨිටාශයක් බවට පත්කල හැකි අතර එමගින් එම ජනතාවටද ගැටළුවක් නොවේ. කාන්තා නියෝජනය 25% ප්‍රායෝගික නොවන තත්වයකි. දේශපාලනයේ තරුණ නියෝජනය වැඩිකල යුතු නිසා තරුණ සහ කාන්තා නියෝජනය 60% බවට පත්කල යුතුය. පළාත් පාලන ආයතන නියෝජනය කිරිම සදහා දේශපාලන ප්‍රවිනතාවය පිලිබද පරික්ෂනය සමත් විය යුතුය. එම මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පරීක්ෂණ විභාගය විධිමත්ව සකස්කර පැවැත්වීම සුදුසුය. (මේ සදහා මැතිවරණ පනත සංශෝධනය කලයුතු වෙයි.) මේ මගින් හුදු ජනප්‍රියත්වය හෝ මුදල් බලය පමනක් ඇති දේශපාලන දැනුමක් දැක්මක් නැති පුද්ගලයන් පළාත් පාලන ආයතන වලට පැමිනිම වැලැක්වීමට හැකි අතර ගුණාත්මක මහ නගර සභාවක්/නගර සභාවක්/ ප්‍රාදේශිය සභාවක් අපේක්ෂා කරයි.
පාලන තන්ත්‍රයේ මෙවන් පුළුල් සංශෝධනයකින් තොරව රටක් ලෙස අපට ඉදිරියට යාමට නොහැකිය. අප අනුගමනය කරනුයේ එංගලන්ත,අමෙරිකා,ප්‍රංශ ව්‍යවස්ථාවන් වල කොටස් අහුලාගෙන හැදු ව්‍යවස්ථා සලාදයකි.අපි අපේ රටේ ජනතාවගේත්, රටේ සංස්කෘතියේත් අනන්‍යතාවට ගැලපෙන පරිදි අපේ රටේ පාලනය සකස්කරගත යුතුව ඇත. එතෙක් අපි අර්බුද මත ජීවත්වන සමාජයක කොටස් කරුවන් වීම වැලැක්විය
නොහැකිය.

දර්ශන තන්ත්‍රීගේ
විධායක ලේකම්
ජාතික ප්‍රතිපත්තියක් සදහා පුරවැසියෝ
Kt.darshana@gmail.com


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න