ආරක්ෂක අංශවලට සහාය දෙන්න / අගමැති ඉල්ලයි

රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත  පවරා දීඇති බැවින් නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අගමැතිවරයා මෙම අදහස් පල කළේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

‘‘ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු අපේ ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි වුණා.

නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්‍ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.

වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්‍ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා.

මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්‍ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි.

මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.

රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා.

ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා. ‘‘


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න