දේශපාලන වාසි ගන්න ගැටළු මවන්න එපා /ඇමති අලවතුවල විපක්ෂයෙන් ඉල්ලයි

රට තුල අනවශ්‍ය අර්බුධ නිර්මාණය කිරීම වෙනුවට ජාතියක් ලෙස පෙරට යාම සදහා සියළු ලාංකිකයින් එක්ව කටයුතු කළ යුතු බව අභ්‍යන්තර , ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ රාජ්‍ය ‌සේවය ගමට වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය තුල ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ත්‍රස්තවාදය , අන්තවාදය, සැකය යන තත්ත්වයන් හේතුවෙන් රට දියුණුව කරා ගෙනයාමේ ගමනට බාධාවක් මිස සහායක් හිමි නොවන බැවින් දේශපාලන වාසි වෙනුවෙන් ගැටළු නිර්මාණය කිරීමෙන් වැලකිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අඩපණව තිබූ අංශ රැසක් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය සමත්වෙලා තිඛෙනවා. ඒත් අපිට පෙනෙනවා තවමත් ඇතැම් පිරිස් කුමක් හෝ අර්බුධයක් නිර්මාණය කරන්න ලොකු උත්සාහයක නිරතවන බව.
ජාතිවාදය මුල් කරගනිමින් රටක ගැටළු ඇති කිරීම නින්දිත තත්ත්වයක්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු යළිත් එවන් තත්ත්වයන් ඇති නොවෙන්න රජය හා ආරක්ෂක අංශ පියවර රැසක් අරගෙන තිඛෙනවා.
ඒ අතරතුර රට නොසන්සුන් කළේ කවුද කියන එකත් රටම මේ වෙද්දි හදුනාගෙන තිඛෙනවා.
දැන් මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ ආයෙත් ප්‍රශ්නයක් හදන්න.
ඉතිහාසයේ අවුරුදු 30ක යුද්ධයක් නිසා ප්‍රශ්න රැසකට ලක්වෙලා ආපස්සට ගිය රටක් විදියට ආයෙත් ඒවගේ තත්ත්වයක් නිර්මාණය කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නෑ,
ඒ නිසා ජාතිවාදය මුල්කරගෙන ගැටළු ඇති කරන්න තැත්කරන අයට අපි කියනවා කරුණාකරලා මේ රටට හානිකරන එන නවත්වන්න.
මේ රටේ අනාගත පරපුරට ආයෙත් ප්‍රශ්න ඇති නොවෙන අනාගතයක් නිර්මාණය කිරීම සියළුම දෙනාගේ වගකීම.
දේශපාලන වාසි වෙනුවෙන් ජාති ආගම් භේද ඇති කිරීමෙන් වාසිය ලැඛෙන්නේ රටට විරුද්ධ පිරිස්වලට හා අන්තවාදීන්ට මිස රටට නොවෙන බවත් මතකයේ තියාගන්න කියලා මම විපක්ෂයට මතක් කරන්න කැමතියි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න