තේරීම් කාරක සභාවට ජනපතිගෙන් රතු එළියක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්‍ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය නොදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07) රාත‍්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තාකර තිඛෙනවා.

තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා කැබිනට් රැස්වීම් වලටද සහභාගී නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කොට ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසෙන බව ප්‍රකාශිතයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කොට ඇති ජනාධිපතිවරයා රහස්‍ය තොරතුරු පනතද උල්ලංඝණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන බවටද චෝදනා කොට ඇතැයි සදහන්.

බුද්ධි අංශ නිලධාරීන් කාරත සභාවට ගෙන්වා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් තොරතුරු විමසීම රටේ ජාතික ආරක්‍ෂාවටත් ජාතික බුද්ධි සේවාවටත් බරපතල තර්ජනයක් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇතැයි දැනගන්නට තිඛෙනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ පෙත්සම් පහක් විභාග කෙරෙන අවස්ථාවේ තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත් නීතීපතිවරයාගේ එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බව සදහන්.

තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් ආණ්ඩුවේ වැඩ වලට සහය නොදෙන බවත් ජනාධිපතිවරයා ලෙස තමාගේ කටයුතු පමණක් කරගෙන යන බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇතැයි ප්‍රකාශිතයි.

එහිදී අදහස් දක්වා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්‍ෂාවට හෝ ජාතික බුද්ධි සේවාවේ කටයුතු වලට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන ගෙන බවයි.

තේරීම් කාරක සභාවේ සාක්කි විමසීමේදී ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද එම ඇමතිවරුන් ප‍්‍රකාශ කර ඇති බව සදහන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.