වැල්ලම්පිටිය තඹ කම්හලේ 10වන සැකකරු යළි රිමාන්ඩ්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වැල්ලම්පිටිය තඹ කම්හල් සේවකයන් අතරින් දසවන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කර තිඛෙනවා.
ඒ ලබන 24 වනදා දක්වායි.

ඇපමත මුදාහැර සිටි අනෙකුත් තඹ කම්හල් සේවකයින් නව දෙනාද අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. පොලීසිය තවදුරටත් කියාසිටියේ ඉදිරි විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි.

තඹ කම්හලේ හිමිකරු වන මරාගෙන මැරෙන බෝම්බකරු සමඟ මෙම සැකකරුවන් සබඳතා පවත්වා ඇති බව හෙළිවී තිබෙන බවයි පොලීසිය කියා සිටියේ. කෙසේ වෙතත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබේද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන පිපිරීම් සිදුකළ ඉන්සාන් ඊබ්‍රහීම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවෙහි මෙම සැකකරුවන් සේවය කර තිබෙනවා.