යහපත් රටකට 18, 19 අහෝසි කළ යුතුයි / ජනපති කියයි

නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

18 වන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකි වීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ අද රටට අවශ්‍ය ඇත්තේ ජනතා සිතුම් පැතුම් හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා  රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවයි.

රටේ සංවර්ධනයේ ශක්තිමත්ම බලඇණිය වන ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින් වංචාවෙන් දුෂණයෙන්  තොරව තම වගකීම් නිසිලෙස ඉටුකරන්නේ නම් මහජන අවශ්‍යතා කඩිනමින් ඉටුකර දිය හැකි බව ද ජනාධිපතිවරයා සදහන් කළා.