මරණ දඩුවම දීමේ තීරණයේ වෙනසක් නෑ / ජනපති

ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා මේ වන විට අත්සන් තබා ඇති අතර ඊට විරුද්ධව කථා කරන සියලු පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහය වන්නන් බව ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ දී පැවැති උත්සවයක් අමතමින්.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරාගැනීම වෙනුවෙන් බවයි.

එබැවින් එම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකු උත්සහ නොදැරිය යුතු අතර එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සමග ද තමා මේ පිළිබඳ ඊයේ රාත්‍රියේ දුරකථන සංවාදයක නිරතවෙමින් කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා සදහන් කළා.