මරණ දඩුවම එපා / ලෝකයෙන්ම ලංකාවට ඉල්ලීම්

ශ්‍රී ලංකාව තුළ යළිත් වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ලොව පුරා විවිධ රටවල් මෙන්ම සංවිධාන සිය විරෝධය පළකරනවා. ඊට එරෙහිව ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් කරන බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ.

වසර 43 ක් තිස්සේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවූ රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ තැබූ නාමය ආපසු හැරවීමක් නව ක්‍රියාමාර්ගය තුළින් සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය තවදුරටත් පවසන්නේ. මරණ දඩුවම යනු අපරාධ වැළැක්වීමට හේතුවක් නොවන බවද එම සංවිධානය පවසනවා.

එක්සත් රාජධානිය පවසන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් එය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බාධාවක් වනු ඇති බවයි. ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු නීතිය බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇති බවද බ්‍රිතාන්‍ය පවසනවා. ප්‍රතිපත්ති සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රවලට ලබාදී ඇති තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට ඒ තුළින් සිදුවනු ඇති බවයි බ්‍රිතාන්‍ය පවසන්නේ. එබැවින් මරණ දඩුවමින් තොරව ශ්‍රී ලංකාව මෙතෙක් පැමිණි ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙසයි ඔවුන් තවදුරටත් ඉල්ලා සිටින්නේ. මීට මාස 6 කට පෙර ශ්‍රී ලංකාව මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමට ජගත් සංවිධානය ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බවද ඔවුන් සිහිපත් කරනවා.

මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් එය 73 වන ජගත් මහා මණ්ඩල සැසියට දුන් පොරොන්දුව කඩ කිරීමක් බව යුරෝපා සංගමය පවසනවා. මරණ දඩුවමට එකහෙලාම විරුද්ධ බව පවසන යුරෝපා සංගමය එම දඩුවම ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තරයට ආයෝජකයන්ට සහ රටේ පාර්ශ්වකරුවන්ට වැරදි පණිවුඩයක් ගෙන යන බවද සදහන් කරනවා.

ජීඑස්පී ප්ලස් සහනය ලබාදී ඇති යුරෝපා සංගමය ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය ඇතුළු ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ද යන්න පිළිබදව අවධානයෙන් පසුවන බවද කියාසිටිනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මරණ දඩුවමට එරෙහිව ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමග තමන් ද එක්ව සිටින බවයි. මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තමන් තදින්ම විරුද්ධ බවද එම නිවේදනයේ සදහන්. අපරාධ වැළැක්වීමට මරණ දඩුවම හේතුවක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඇමෙරිකාව ඇතුළු තවත් විවිධ රටවල් ද ලෝකප්‍රකට ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් වැනි අයද විවිධ සංවිධාන ද මරණ දඩුවමට එරෙහිව නිවේදන නිකුත්කර තිබෙනවා.