මරණ දඩුවමට විරුද්ධයි / අගමැති එජාප ස්ථාවරය කියයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් විරුද්ධ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.ඊයේ මොණරාගලදි පවැති ජනහමුවක් අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

“මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරීමට සූදානම්වීම අලුත්ම ප්‍රශ්නයයි. ජේ.ආර්. ජයවර්ධන ජනපති වූ විට කිසිම ජීවිතයක් නැතිකිරීමට තමන් සූදානම් නැති බැවින්  මරණ දණ්ඩනය සඳහා කිසිම ලියවිල්ලක් අත්සන් නොකරන බව ප්‍රකාශ කළා. එවිට සමහරුන් එතුමාට දොස් කිව්වා. නමුත් එතුමාගේ තීරණය ක්‍රියාත්මක වුණා.

ආර්. ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග ජනාධිපතිවරුන් ද ජේ.ආර්. ජනපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක කළා. ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පත්වුණා. එතුමියගේ පියා ඝාතනයට ලක්ව සිටියා. නමුත් එතුමියත් කළේ කුමක්ද? එතුමිය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කළා. ඊළගට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආවා. එතුමත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කළේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධුරයට පත්වුණා. එහිදීත් මුල් ප්‍රතිපත්තියම ක්‍රියාත්මක වුණා. දැන් මරණ දඬුවම යළිත් ක්‍රියාත්මතක කරන්න යෝජනා කර තිබෙනවා. ඒ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩකළ විශාලතම පක්ෂයේ ප්‍රතිපත්තිවලටත්, පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂයේ ප්‍රතිපත්තිවලටත් විරුද්ධයි”