හේමසිරි, පූජිත් අද CID කැදවයි / හේමසිරි රෝහලේ

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිඛෙනවා.

ඒ අප්‍රේල් 21 වනදා(පාස්කු ඉරිදා )ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

මේ අතර පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධයෙන් දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට යළි දැනුම්දීමක් සිදුකර තිබු අතර රාජකාරි යුතුකම් හා වගකීම් නොසලකා හැරීම මත මොවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කරන්නැයි, නීතිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පොලිස්පතිවරයාට දන්වා තිබුණා.

නීතිපතිවරයා මෙම දැනුම්දීම කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යොමු කළ විමර්ශන උදෘත සහ ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

නීතිපතිවරයා පෙන්වා දෙන්නේ කරුණු අධ්‍යයනයේදී මොවුන් දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි පෙනී යන බවයි.

කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.

මේ සම්බන්ධයෙන් විමසීමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු මිට දින කිහිපයකට පෙර සිට කොළඹ ජාතික රෝහලේ හෘද සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.