හේමසිරි / පූජිත් අත්අඩංගුවට ගන්න නියෝග

පාස්කු ඉරිදා(අප්‍රේල් 21 වනදා )බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර තිඛෙනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම මගින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයා ප්‍රබල ලෙස රාජකාරිය පැහැර ඇති බව සඳහන් කරමින් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කර ඇති නීතිපතිවරයා, මීට දින 05කට පෙර නිකුත් කළ මෙම නියෝගයට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව දැනුම්දී ඇතැයි සදහන්.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ තවත් අයවලුන්ගේ නොසැලකිල්ල හෝ පැහැර හැරීම සම්බන්ධයෙන් කරනු ලබන අපරාධ විමර්ශනය අනුව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය දැනුම් දුන්නා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවකදී අපරාධ වැඩබලන පොලිස්පතිවරයාට නියම කර තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න