වෛද්‍ය ෂාෆි ගන විමර්ෂණ සාධාරණව කෙරෙනවා

වෛ‍ද්‍ය සාෆිගේ ප්‍රශ්නය විමර්ශනයට පත්කළ කමිටුව පිළිගත නොහැකි බව පවසමින් සහ ඖෂධ මිලදී ගැනීම්, සයිටම් පවරා ගැනීම සම්බන්ධයෙන්, සෞඛ්‍ය ඇමැතිවරයාට ඇතැම්හු චෝදනා කරති. ඉහත චෝදනා ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැනත්, වත්මන් දේශපාලනයේ සංවාදාත්මක කරුණු ගැනත් අමාත්‍ය රාජිත සේනාරත්න මෙසේ පිළිතුරු දෙයි.

* තනතුරෙන් අයින් වුණත් කඳවුරෙන් අයින් වෙන්නෙ නැහැ
* සෞඛ්‍යයට නියම නිදහස දුන්නේ මම
* මත්පැන් දුම්වැටි බදු ප්‍රතිපත්තිය නිවැරැදි වෙන්න ඕන
* වෛද්‍ය සාෆිගෙ ඇත්ත හෙළි වෙද්දි ජී.එම්.ඕ. එක බයට කෑ ගහනවා
* හොර සුරා වැඩි වෙන්නෙ දේශපාලනය නිසා

සෞඛ්‍ය අමාත්‍යංශය ඔබට භාරදෙන්නෙ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ ලොකු වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස වුණාද?

අපේ රටේ සෞඛ්‍ය නිදහස් කීවට නිදහසක් තිබුණේ නැහැ. නියම නිදහස දුන්නෙ මම. ඖෂධ මිල අඩුකළා. හෘද රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ දුන්නා. එදා ස්ටෙන්ට් එකක මිල රුපියල් ලක්ෂ තුනහමාරයි. රජයේ රෝහල්වල ස්ටෙන්ට් දැම්මෙ 3%යි. ඉතිරි 97% ම මියගියා. හෘද රෝගීන්ට ටෙනක්ටප්ලේස් ඖෂධය නොමිලේ දුන්නා. හෘද රෝගීන් මියයන එක අවම වුණා. ජාතික රෝහලෙත් මහනුවර රෝහලෙත් පැය 24ම ස්ටෙන්ට් දානවා. බ්‍රිතාන්‍ය ප්‍රධානතම වෛද්‍ය සඟරාව බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් සඟරාවෙ කතුවැකිය මේ ගැන ලියල තිබුණා. පිළිකා ඖෂධවල ලක්ෂ 15ක සීමාවක් තිබුණා. එක එන්නතක මිල දෙලක්ෂ අසූදාහයි. එක රෝගියෙකුට දුන්නෙ එන්නත් 5යි. එතනින් පස්සෙ වේදනා නාශක විතරයි දුන්නෙ. පිළිකාවලින් රෝගීන් වැඩි පිරිසක් මියගියා. ජීවිත කාලෙම පිළිකා ඖෂධ දෙන්න මම නියම කළා. ලක්ෂ 500ක් වියදම් කරපු පිළිකා රෝගීන් අද ජීවත්වෙලා ඉන්නවා. සුවසැරිය ගිලන්රථ සේවාව හැම ගමකටම සේවය සලසනවා. අවුරුද්දකට ලක්ෂ 12ක් විතර ඇස් නොපෙනීමට ගොදුරු වුණා. අපි අක්ෂි කාච නොමිලේ දුන්නා. උපතින්ම බිහිරි දරුවන්ට කර්ණ සංඛ බද්ධයට කර්ණ සංඛය නොමිලේ දෙනවා. මේ එකක් ලක්ෂ 36ක් වෙනවා. දුප්පත් දරුවන්, ගොළුවන් බිහිරන් වෙන එක නැවතුණා. ධනපති පන්තියට තිබුණු වරප්‍රසාද දුප්පත් පන්තියටත් දුන්නා. අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා දරුවන්ට ඇටමිදුළු බද්ධ කරනවා. ළමා රෝහලෙත් එය පටන්ගන්නවා. මහනුවර රෝහලේ තැලසීමියා සංකීර්ණය හදනවා. හෘද, වකුගඩු, අක්මා, අග්න්‍යාස, පාද බද්ධ කිරීම් පටන්ගත්තා. මේ සැත්කම් සාර්ථකයි. පෙණහලු බද්ධය පටන්ගන්නවා. මේ සියල්ල කළේ ජනතාව වෙනුවෙන්, ඔවුන්ගෙ සෞඛ්‍ය වෙනුවෙන්.

ඖෂධ මිලදී ගැනීමෙදි විශාල මුදල් වංචා සිදුවන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ජනාධිපතිවරයා ඒ කියන්නෙ අද එකක් ගැන නෙමයි. ඒ කතාව හරියට කියවගන්න. පත්තරවල හෙඩ්ලයින් දැම්මට ජනාධිපතිතුමා කියන්නෙ ඒ කාලෙ ඒව. එතනදි එතුම කියනව මම කියන්නෙ මේ දවස්වල ඒව නෙවෙයි කියලත්. මාධ්‍යවල දාන්නෙ කතාවෙ කොටසයි.

ඔබ කියන්නෙ 2015න් පස්සෙ එහෙම වංචා වුණේ නැහැ කියලද?

එහෙම දේවල් නැතිවෙන්නෙ නැහැ. හැම රටකම එහෙම වංචා තියෙනවා. අපිට පුළුවන් මේ වංචා පුළුවන් තරම් අවම කරගන්නයි. ලෝකයෙ තියෙන මාෆියා තුනක් ගැන ජනාධිපතිතුමා කියනවා, මත්ද්‍රව්‍ය, අවිආයුධ සහ ඖෂධ. මේ කියන්නෙ බටහිර ඖෂධ ගැන. එතුමගෙ කාලෙත් මේව තිබුණ කියල එතුම කියනව.

රෝහල්වලට බාල බෙහෙත් නිකුත් කරන බවට මාධ්‍ය වාර්තා පළවුණා. රජයේ විගණන වාර්තා උපුටා දක්වමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත් මේ චෝදනාවම එල්ල කළා?

විගණන වාර්තාවෙ තියෙන්නෙ ‍ෆෝලික් ඇසිඩ් ගැන. එකේ තියෙන්නෙ වැරදි විදියට. ඕනම ඖෂධයක් ලංකාවට ගේනකොට එක කාණ්ඩයක වරදක් තියෙන්න පුළුවන්. ඔය කියන ෆෝලික්වල දශම නවයක් තියෙන්න ඕන. දශම අටයි හතක් තිබුණෙ. ඒ සියලු කාණ්ඩ වෙළෙඳ පොළෙන් ඉවත් කළා. මේ අය කියන්නෙ ඒ කාණ්ඩයට ඉස්සර ඒවත් ප්‍රමිතියට නැහැ කියලයි. නමුත් ඒ කාණ්ඩ සියල්ල පරීක්ෂා කරලයි නිකුත් කළේ. ඒවයෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ජී. එම්. ඕ. එක අතින් දාන කෑලි. ඔය ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ 2013 – 2014 අවුරුදුවල මම එන්නත් කලින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔබට එරෙහිව පෙත්සමක් අත්සන් කරනවා. ඒ චෝදනා ගැන ඔබ මොකද කියන්නෙ?

ඒ අය ඒ අයගෙ දේශපාලන න්‍යායපත්‍රය කරනවා. මම සෞඛ්‍ය අංශයෙ කරන වැඩපිළිවෙළ ජනප්‍රිය වෙනකොට ආණ්ඩුව ජනප්‍රිය වෙනවා. ඒක අනෙක් පැත්ත හරවන්න මහින්ද රාජපක්ෂලට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජී. එම්. ඕ. එක පෙනී ඉන්නවා. ඒ අයට ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඒ අය හම්බවෙන්නෙ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. ඒ අය ඉන්න තැන ඒකෙන්ම තේරෙනවනෙ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය, ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ මණ්ඩලය මාත් එක්ක සහයෝගෙන් වැඩ කරනවා. මේ කියන වෘත්තීය සමිති ඔය පෙත්සම්වලට අත්සන් කරන්නෙ නැහැ. මේක ජී. එම්. ඕ. එකේ දේශපාලන ව්‍යාපෘතියක්. දින 52දි චමල් රාජපක්ෂ එක්ක මේ අමාත්‍යංශය රන්කළේ ජී. එම්. ඕ. කට්ටිය තමයි. ඔය දේශපාලන ගේම්වලට අපිට මුහුණ දෙන්න පුළුවන්.

දූෂණ වංචා චෝදනා වගේම බිලියන 5ක පමණ ජනතා බදු මුදල් නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලබාදීම ගැනත් ඔබට චෝදනා කරනවා?

ඒව දීල තියෙන්නෙ මම නෙවෙයි, කැබිනට් මණ්ඩලයෙ අනුමැතියකින්, කොමිසමෙන් සේවකයන් බඳවා ගන්න අවශ්‍ය අනුමැතිය දීල තියෙනවා. භාණ්ඩාගාරය මුදල් නිකුත් කළා. භාණ්ඩාගාරය තියෙන්නෙ මගෙ යටතෙද? කොමිසම කැබිනට් එක මගෙ යටතෙද? මේ ගිවිසුම අත්සන් කරල රෝහ‍ල භාරගත්තෙ ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන්. මම මේවට කොහොමද වග කියන්නෙ. මේ ඔක්කොම ආණ්ඩුවෙ. රෝහලේ ණය ගෙවනකන් මේ රෝහල අයිති ලංකා බැංකුවට. ලංකා බැංකුවට උගස් කරලයි තියෙන්නෙ. ලංකා බැංකුවට ණය මුදල ගෙව්වට පස්සෙයි මේක රජයට අයිති වෙන්නෙ. රෝහල පාලනය කරන්නෙ අපි. මේක ආණ්ඩුවෙ නෙවෙයි කියන්නෙ කොහොමද?

වෛද්‍ය සභාවෙ තනතුරු හතරක් වසර එකහමාරක් තිස්සෙ පුරප්පාඩුවෙලා. ඒවට පත්කිරීම් නොකරන්නෙ ඇයි?

මට පුරවන්න තියෙන ටික මම පුරවල තියෙන්නෙ.

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන නිසියාකාරව සිදු නොවන බවට චෝදනා එල්ලවෙනවා?

ඔය චෝදනා කරන කට්ටිය පිළිගන්නෙ කාගෙ පරීක්ෂණ ද? සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරික්ෂණ කරනකොට ඒක හොඳ නැහැ කිව්වා. දැන් මේක හොඳ නැහැ කියනවා. ඒ අය ඉල්ලන්නෙ ඒගොල්ලන්ට ඕන වාර්තාවද? වෛද්‍ය ෂාෆි එක්ක අවුරුදු හතර පහ වැඩ කරපු සියලුම වෛද්‍යවරුන්ගෙන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටඋත්තර අරගෙන තියෙනවා. වෛද්‍ය ෂාෆි වැරැද්දක් කළ බව මේ කවුරුවත් කියන්නෙ නැහැ.

මව්වරු දහසකට වැඩි ප්‍රමාණයක්…?

ඔව්… ඒ කියන්නෙ ඕගොල්ලන්ගෙ පුවත්පත්වලනෙ. 675ක් තමයි හරි ගාණ. මේ 675ම පරීක්ෂණවලට ලක්කළා. මේ අය කියන්නෙ ඔළුවෙ අමාරු, බඩේ අමාරු ගැන. චෝදනාව ඒක නෙවෙයි. මේ‍ වෛද්‍යවරයට එරෙහිව තියෙන චෝදනාවට අදාළ පැමිණිලි තියෙන්නෙ සුළු ප්‍රමාණයයි. ඒ ගැන පරීක්ෂණ කරන්න අපි විශේෂඥ කමිටුවක් පත්කළා. ඒ වාර්තාව ගන්න තියෙනවා.

මේ ගැන ජනාධිපති පරික්ෂණ කොමිෂමක් ඉල්ලනවා?

ජනාධිපතිතුමා කියල තියෙන්නෙ බැහැ කියල. ඒ කොමිෂන් දැම්මත් පරීක්ෂණ කරන්න ඕන විශේෂඥ වෛද්‍යවරුනෙ.

වෛද්‍ය ෂාෆිව ආරක්ෂා කරන බවට ඔබට චෝදනා එල්ලවෙනවා ?

මම නෙවෙයි ආරක්ෂා කරන්නෙ. ඔය කෑගහන කට්ටිය. මේ පරීක්ෂණවලට ඇඟිලි ගැහුවෙ ඒ අය. රතන හාමුදුරුවො එක්කෙනෙක්. වෛද්‍ය සංගමය අනෙක් කට්ටිය. මම කාටවත් කතාකළේ නැහැ. මම ඇඟිලි ගැහුවෙ නැහැ. රෝහල් අධ්‍යක්ෂවරයටවත් මම කතාකළේ නැහැ. මේ අවුල ඇතිකළේ නියෝජ්‍ය පොලිස්පතිවරය. ඔහු කියල තියෙන්නෙ බොරු. වෛද්‍ය ෂාෆිට එරෙහි කිසිදු සාක්ෂියක් නැතිව තමයි ඔහු අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. සාක්ෂි සටහන් කරගෙන තියෙන්නෙ දවස් දෙකකට පස්සෙ. ඔය නියෝජ්‍ය පොලිස්පතිගෙ භාර්යාව වැඩ කරන්නෙත් කුරුණෑගල රෝහලේ. දැන් ඔය කාරණා ඔක්කොම හෙළිදරව්වී ගෙන එනවා. දැන් ඒකට බයේ රතන හාමුදුරුවොයි වෛද්‍ය සංගමයයි කෑ ගහනවා. මේ අය තමයි පරීක්ෂණවලට කලින්ම තීන්දු දුන්නෙ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කාර්යය මණ්ඩලයට මාධ්‍යයට කරුණු කියන්න එපා කියල තිබියදීත් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා පසුගියදා මාධ්‍ය හමුවේ කරුණු කියනවා?

විනය කඩකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු ගැන කටයුතු කරමින් ඉන්නෙ.

චීන සිගරට් ආනයනයට ඔබ දැඩි විරෝධයක් එල්ල කළා?

දුම්කොළ පාලනයට අපි දැඩි තීන්දු ගත්තා. ලෝකෙ ලොකුම බද්ධ ගැහුවෙ අපි. දුම්කොළ විරෝධී ජාත්‍යන්තර සම්මානය පිට පිට වසර තුනක් අපිට හම්බවුණා. පළවෙනියට ජනාධිපතිතුමාට. දෙවැනියට මට. ඊටපස්සෙ නාටා සංවිධානයට හම්බවුණා. අපේ රට මේ සම්බන්ධව ලෝකයෙ පිළිගැනීමකට ලක්වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙ දුම්කොළ ප්‍රඥප්තියෙ කරුණු 22න් 20ක්ම අපි කළා. චීන සිගරට් ගෙනැල්ල ආපහු හැරෙන්න අපිට බැහැ. පහුගිය මැතිවරණයෙදි අපි දුන්න එක පොරොන්දුවක් දුම්කොළ ප්‍රතිපත්තිය. මහින්ද රාජපක්ෂ මේකට කළ බාධාව ඉවත්කරල ඉස්සරහට යනව කියල අපි කිව්වා.

ආණ්ඩුවෙ අවසන් කාලෙ ගැන සිග්නල් එක දෙන්නෙ රාජිත සේනාරත්න කියල කියනවා. චීන සිගරට් අල්ලගෙන මේ දෙන්නෙ එහෙම සිග්නල් එකක්ද?

නැහැ. ඔය කියන්නෙ මම අයින්වෙනවයි කියන එක ගැනනෙ. තනතුරෙන් අයින් වුණාට කඳවුරෙන් අයින් වෙන්නෙ නැහැ කියල මම කිව්වා.

ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය සියයට 95කින් වර්ධනය වෙලා කියල ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා?

රටක සමාජ ප්‍රශ්න මේකට බලපානවා. නීතිවිරෝධී මද්‍යසාර පහුගිය කාලයෙ වැඩිවුණා. ඒව වටලන්න පොලිසියට තිබුණු බලය උසාවි නියෝගයකින් නැතිවුණා. ඒ බලය ලැබුණෙ සුරාබදු ‍කාර්යාලයට. ඒ අයට වැටලීම්වලට පිරිස මදි. ඒ නිසා ප්‍රසිද්ධියෙ නීතිවිරෝධී මත්පැන් ස්කාගාර ඇතිවුණා. ලංකාවෙ තිබුණ විශාලම නීතිවිරෝධී මත්පැන් කර්මාන්තශාලාව පහුගියදා බේරුවලින් ඇල්ලුවා. පොහොට්ටුවෙ කයිවාරුගහන ප්‍රධාන දේශපාලනඥයෙක් ඒකට සම්බන්ධයි. ඒක ඒ පළාතෙ අය දන්නවා. මේවට මේ දේශපාලනයත් බලපානවා. අපි මේවට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නෙ.

මද්‍යසාර සම්බන්ධ, මෙරට බදු ප්‍රතිපත්තියෙ තිබෙන දුර්වලතා නිසා මද්‍යසාර සම්බන්ධ සෞඛ්‍ය දර්ශකයෙ ලංකාව ශීඝ්‍ර පසුබැසීමකට ලක්වෙලා කියලත් කියනවා?

මම ඔය කතාව පිළිගන්නවා. මත්පැන් හා සිගරට් සම්බන්ධව නිවැරදි බදු ප්‍රතිපත්තියක් නැහැ. බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න කියල අපි කිව්වා. හොඳ බදු ප්‍රතිපත්තියක් තිබුණ නම් ආණ්ඩුවට මුදලුත් ලැබෙනවා.

දැන් මේ ආණ්ඩුවට වසර හතරකට ආසන්නයි. එහෙම ප්‍රතිපත්තියක් ගේන්න කැබිනට් මණ්ඩලයෙ මේ ගැන සාකච්ඡා නොකළෙ ඇයි?

හැම එකම කරන්න බැහැනෙ. කරපු ටික දැන් මම කිව්වනෙ. ඔක්කොම අවුරුදු හතරෙන් කරනවනම් හතරකට රට බාර දුන්නම ඇති. එහෙම රටවල් හදන්න කාටවත් බැහැ. මත්පැන් පිළිබඳ කතාව තියෙන්නෙ ජනාධිපතිතුමත් එක්ක, ඒක මගේ අමාත්‍යංශයට විතරක් තනිව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අමාත්‍යංශ කීපයක් එකතුවෙන්න ඕන. දුම්වැටි මත්පැන් ගැන මේ තරම් තදබල විදියට තීන්දු ගත්තු ආණ්ඩුවක් තිබුණෙ නැහැ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රටට නායකයෙක් නැතිවුණා කියල ජනාධිපතිවරයා චෝදනා එල්ල කරනවා?

ජනාධිපතිතුමා එහෙම කියනවනම් ඒක එතුමගෙ වැරැද්දක්. එතුම තමයි නායකය. අගමැතිටත් හුඟක් බලතල තියෙනවා. අපි පොරොන්දු වුණේ, මේ ජනාධිපති ආවෙ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. රාජපක්ෂලව පැරැද්දුවෙ ඒකයි. 19 ගේන වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අය සංශෝධන කළා. ඒ සංශෝධන නිසා අගමැතිටයි ජනාධිපතිටයි බල කඳවුරු දෙකක් හැදුණා. නායකයෙක් නැතිවෙන්න හේතුව මේක තමයි, අපි ගෙනාපු 19 හරියට ක්‍රියාත්මක වුණා නම් මේ ප්‍රශ්නෙ නැහැ. අගමැතිට බලය ලැබෙනවා.

ඉදිරි ඡන්දයකින් පස්සෙ 19 නැවත සංශෝධනය විය යුතු බවත් කියනවා?

19 මීටත් වඩා ශක්තිමත් කරනවා, අපි 20 ගෙනැල්ල ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා.

අහෝසි කරන ජනාධිපති තනතුරක් සඳහා රටේ විශාල මුදලක් වැය කරල ඡන්දයක් තියන්න යන්නෙ ඇයි?

ව්‍යවස්ථානුකූලව දැනට කාවහරි පත්කරගන්න එපැයි. ජනාධිපති ක්‍රමය අනව්‍යශයි. මේක අහෝසි කරන්න ඕන කියල අපි කියන්නෙ ඒක තමයි.

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඔබටත් ආරාධනා ලැබෙනවා?

පක්ෂය හැටියට අපි හැමෝම කතාකරල හොඳම කෙනා ඉදිරිපත් කරනවා. ඒ කෙනා ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයෙ ජනාධිපති අපේක්ෂකය සම්බන්ධ යම් මත ගැටුමක් තිබෙන බව කියනවා?

දැන් මිනිස්සු පක්ෂවලට බැඳිල නැහැ. විශේෂයෙන් මේ රටේ තරුණ පරම්පරාව පක්ෂවලට බැඳිල නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් යූ. එන්. පී. සහයෝගයෙන් මේ රටේ ජනාධිපති වුණා. යූ. එන්. පී. හැමෝම ඡන්දෙ දුන්නා. තරුණ පරම්පරා‍ව ඉල්ලන්නෙ ශක්තිමත්, ඍජු ප්‍රතිපත්ති තියෙන තීන්දු තීරණ ගතහැකි නායකයෙක්.

ඔබ නියෝජනය කරන පාර්ශවයෙ එහෙම කෙනෙක් ඉන්නවද?

ඔව් ඉන්නවා.

ඒ කවුද?

ඉස්සරහට බලාගමු.