සහරාන් පෝෂණය කළ අය අත්අඩංගුවට ගත යුතුයි

සහරාන්ට එවකට මුදල් ලබාදෙමින් ඔහුව පෝෂණය කරමින් ශක්තිය ලබාදුන් අය වහාම අත්අඩංගුවට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

පාස්කු දිනයේ ප්‍රහාරයට ගොදුරු වුණ හා තුවාල ලැබූ සෑම පිරිසකටම ආණ්ඩුව අවශ්‍ය සහන ලබාදුන්නා. තවමත් ලබාදෙනවා. රජය ඉටුවිය යුතු සෑම වගකීමක්ම ඔවුන් වෙනුවෙන් ඉටුකරනවා.

බඩගෝස්තර දේශපාලනය සිදුකරන්නත්, ආගමික අංශවල සමහර පිරිස, ඇතැම් නීතිඥවරු සහ කලාකරුවෝ ඇතැම් සිවිල් සංවිධාන අ‍මෙරිකා බියක් රට තුළ ඇති කිරීමේ අසත්‍ය පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කරනවා. ආණ්ඩුව රට විකුණන කණ්ඩායමක් ලෙසට අසත්‍ය ප්‍රචාර පතුරවමින් මේ අයගේ බලාපොරොත්තුව බලය ගැනීමයි. බලයට කෑදරකමින් මේ අය විවිධ තුරුම්පු ගෙනාවත් ඒ සියල්ලම වැරදුණා. පසුගිය ඔක්තෝබරයේ රට අස්ථාවර කළා. ඉන්පසුව බෝම්බ ප්‍රහාරය තුළින් සහ ජාතිවාදය තුළින් තම පටු දේශපාලන තුරුම්පු ක්‍රියාවට නංවන්න දැරූ සියල්ල වැරදුණා. දැන් අමෙරිකා බියක් ඇති කරනවා. මේ සියල්ල හමුවේ රජය සහ පෞද්ගලික අංශය පහතට වට්ටන්න බැරිවුණා. රජය දැඩි ස්ථාවරයකින් ක්‍රියා කළා.

සෑම අභියෝගයකටම ආණ්ඩුව මුහුණ දුන්නා ග්‍රාමීය සංවර්ධනය සඳහා ලබාදෙන දායකත්වය අඩු කළේ නෑ.

බෝම්බයෙන් රට තුළ ඇතිවුණ ගැටලුවලට ආණ්ඩුව සාර්ථකව මුහුණදී සමථයකට පත්කළා. ත්‍රිවිද හමුදාව සහ පොලිසිය කැපවීමෙන් ක්‍රියා කිරීමෙන් රට ආරක්ෂා වුණා. රටේ ස්ථාවර බවට ලෝන්ලි ප්ලැනට් සඟරාව සාක්කි දරනවා. සංචාරයට සුදුසුම රටවල් අතරින් ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැන ලබාදී තිබෙනවා. පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට අසත්‍ය පතුරවන්නන් ගැන කනගාටු වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව ජුනි 21 වනවිට රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 3‍.4 කින් අධි ප්‍රමාණය වෙලා තිබෙනවා. වසර 2018 අවසානයේදී ඍජු විදේශ ආයෝජනවල වර්ධනයක් තිබෙනවා. මෑත කාලයේදීත් යම් වර්ධනයක් සිදුව තිබෙනවා. රටක් ලෙස ආණ්ඩුවක් ලෙස අප ක්‍රියා කරනවා.

ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන්, ළඟම පාසල හොඳම පාසල, පාසල් දරුවන්ට ටැබ් ලබාදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකළ පෙරළිය, සමෘද්ධිය ලක්ෂ හයකට ලබාදීම, බෞද්ධ සිද්ධස්ථාන සඳහා කිසිම රජයකින් ලබා නොදුන් මුදල් වැය කළා. සෙසු ආගමික සිද්ධස්ථාන සඳහා වැඩිම මුදල් දුන්නේ මේ ආණ්ඩුවයි. සජිත් ඇමතිතුමාගේ නිවාස දෙදහස් පන්සීයේ වැඩසටහන අවසන්. ඊළඟ වැඩපිළිවෙළත් ඇරඹුවා.

සියලුම ජන කොටස් ඒකරාශී කරමින් ජනතාවගේත් රටේත් සුබසිද්ධියට ආණ්ඩුව ක්‍රියා කරනවා. ඕනෑම අභියෝගයකට මුහුණදීමේ පන්නරය ආණ්ඩුව සතුයි.

මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ බළල් අත ක්‍රියාත්මක කළේ ජනතාවට එපාවී තිබුණ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක්. ආණ්ඩුව කකුලින් ඇදීමට සංවර්ධනය අඩාල කරන්න ජනාධිපතිවරයාට වැරැදි ප්‍රතිරූප පෙන්වාදීමට පියවර ගත් පිරිසගේ අවුල් කිරීම් තුළින් අපි ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ජනතා අවශ්‍යතා ඉටුකරනවා.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුණ විපක්ෂයේ ඇතැමුන් පිටරට සිට සහ මේ රටේ වෙසෙමින් විශාල ලෙස මුදල් වියදම් කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වෙනවා.

මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයගෙන් ඇසූ ප්‍රශ්න හා ලැබුණ පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බව මංගල සමරවීර ඇමතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඔබගේ මතය කුමක් ද?

පිළිතුර – මගේ මතය මෙතනදි අවශ්‍ය නෑ. අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සිටිනවා. ඔවුන් ඉතා හොඳ වැඩපිළිවෙළක් සකසන බව විශ්වාසයි. මංගල ඇමතිවරයා පක්ෂය වෙනුවෙන් යම් වැඩ කොටසක නිරතව සිටිනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් කතානායකතුමාගේ සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ පමණක් නොව ගමේ කොටන් අදින අලින්ගේ ශක්තියෙන් අපේ ජනාධිපති අපේක්ෂකයා තීරණය වනවා.

ප්‍රශ්නය – හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබීම සාධාරණ ද?

පිළිතුරු – සියලුම අභියෝග හමුවේ මුහුණදීමේ ශක්තිය ආණ්ඩුව සතුයි. අභියෝගවලින් පලායන්නේ නෑ.