ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව කොළඹදී ඇරඹේ

ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15 වන සැසි වාරය අද කොලඹදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු සදහන් කළේ එහි ක්‍රියාකාරි මට්ටමේ නියෝජිතයන්ගේ රැස්වීම අද සිට ලබන 11 වනදා දක්වාත් ආයතන ප්‍රධානින්ගේ රැස්වීම 2019 ඔක්තෝබර් මස 07 වන සිට 10 වන දක්වා කොළඹදී පැවැත්වීමට සැලසුම් කරඇති බවයි.

ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15 වන සැසි වාරය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ප්‍රධානත්වයෙන් රටවල් 22 ක වෙරළ ආරක්ෂක ආයතන, අනුබද්ධ සමාජික ආයතනයක් හා නිරීක්ෂණ සංවිධාන දෙකක සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇති.

මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ “අලොන්ද්‍රා රේන්බෝ“ නෞකාව ඉන්දීය වෙරළ ආරක්ෂකයන් විසින් අග්නිදිග ආසියානු මුහුදේදී 1999 නොවැම්බර් මාසයේදී සිය භාරයට ගැනීම පසුබිම් කර ගනිමින් ආසියානු සමුද්‍රීය කලාපයට ඇති තර්ජනයන් වලට මුහුණදීම සදහා ජපානය විසින් මුහුදු කොල්ලකෑම් හා අවි ජාවාරම් නැවැත්වීම සදහා කලාපීය සමුද්‍රීය ආරක්ෂක ආයතන අතර සමුළුවක් 2000 වසරේදී සංවිධානය කරනු ලැබුවා.

අනතුරුව, එම සමුළුව 2000 වසර සිට 2004 වසර දක්වා කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ ආයතන වල ප්‍රවීන ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය  හා තායිලන්තය යන රටවලදී පැවැති අතර, 2004 වසරේදී ජපානයේ මුලිකත්වයෙන් ආසියානු වෙරළ ආරක්ෂක ආයතන ප්‍රධානින්ගේ සමුළුව වශයෙන් මෙය වඩාත් විධිමත්ව ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා බහුපාර්ශ්වික කලාපීය සමුළුවක් ලෙස  වාර්ෂිකව එය නියෝජනය කරනු ලබන රටවලදි පැවැත්වෙනවා.

මෙම සමුළුවේදී ‘සමුද්‍රයේ සිදුකෙරෙන සෙවීම් සහ මුදවා ගැනීම්, සමුද්‍රීය පරිසරය සුරක්ෂිත කිරීම, සමුද්‍රීය නීති විරෝධී ක්‍රියා වැලැක්වීම හා පාලනය කිරීම, කලාපයේ සමුද්‍රීය ආරක්ෂක අංශවල හැකියාව වැඩි දියුණු කිරීම මෙන්ම සාමාජික ආයතන විසින් හදුනාගත් කලාපීය සමුද්‍රීය ආරක්ෂාවට වැදගත් වන වෙනත් පොදු කරුණු’ යන  සිව් වැදෑරුම් කරුණු පිළිබදව අවධානය යොමු කරනු ලබන අතර, ඒ හා සබැදිව සමාජික ආයතන අතර සාමූහිකව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් මගින් සමුළුව පැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම එහි මුලික පරමාර්ථයයි.

ආසියානු වෙරළ ආරක්ෂක ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ආසියානු කලාපයට අයත් වෙරළ ආරක්ෂක ආයතන හා සාගරික ආරක්ෂක නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහභාගි වන ඉහල මට්ටමේ බහුපාර්ශ්වික සමුළුවක් වන අතර, එමගින් ආසියානු කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම සමුද්‍රීය දූෂණය මැඩපැවැත්විම සදහා ගතයුතු ඉදිරි පියවර පිළිබදව සුවිශේෂි අවධානය යොමු කෙරෙනවා.

මෙම සමුළුව සදහා ඕස්ට්‍රේලියාව, බහරේන්, බංගලාදේශය, කාම්බෝජියාව, චීනය, හොංකොං (චීනය), ඉන්දියාව, ඉන්දුනීසීයාව, ජපානය, කොරියාව, ලාඕසය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රි ලංකාව, තායිලන්තය, තුර්කිය හා වියට්නාමය යන රටවල් හා කලාප 22 ක් වශයෙන් නිත්‍ය සාමාජිකයින් ලෙස සහභාගි වීමට නියමිතයි

මීට අමතරව මුහුදු කොල්ලකෑම් හා අවි ජාවාරම් වැලැක්වීම සඳහා වන ආසියානු කලාපීය සහයෝගිතා වැඩසටහනෙහි  තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයට අනුබද්ධ සාමාජිකයෙකු ලෙස මෙම සමුළුවට සහභාගි වන අතර, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා වන කාර්යාලය සහ බාලි ක්‍රියාවලිය මෙම සමුළුවේ අනෙකුත් නිරීක්ෂක සාමාජිකයින් වේ.