පූජිත් හා හේමසිරිට එරෙහි චෝදනා විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දණ්ඩනීති සංග්‍රහය යටතේ නියෝගයක් නිකුත් කරන ලෙසට ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල් ටී බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් ලබන 12 වනදා සළකා බැලීමට නියමිතයි. ජාතික වැදගත්කමකින් යුතු නඩු කටයුත්තක් බැවින් අදාළ පෙත්සම්, විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා තීරණය කර තිබෙනවා. වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීටපෙර අධිකරණයට දැන්වුවා. අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම් අට අතුරින් එක් පෙත්සමක් ගොනු කර ඇත්තේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනෙකුගේ පියෙකුයි. බුද්ධි අංශ තොරතුරු මඟින් දැනුවත් කර තිබියදී බෝම්බ පිපිරීම වැළැක්වීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බව එම පෙත්සම්කරු පෙන්වා දෙනවා.