වෛද්‍ය සාෆි 25 තෙක් රිමාන්ඩ්

ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි පරිදි වත්කම් ඉපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහබ්දීන්  ලබන 25 වැනි දා තෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතායි නියෝගය නිකුත් කළේ.

රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ පසුවූ වෛද්‍යවරයාගේ රැඳවුම් නියෝග අත්හිටුවීමෙන් පසු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා  රඳවාගෙන තබා ගත්තද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නැති බවයි.  වඳ භාවයට පත්වී ඇතැයි කියමින් පැමිණිලි කළ මව්වරුන් 143 දෙනකු  එස්එච්ජී පරීක්ෂණයට ලක් කිරීමට අවසර ලබාදෙන ලෙසද මෙහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණා.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇතැයි චෝදනා සියල්ලම අසත්‍ය බවයි. පැමිණිලි කළ මව්වරුන් එස්එච්ජී පරීක්ෂණයට යොමු කිරීම ගැන තමන් ද එඟ වන බවත්, මව්වරුන් එම පරීක්ෂණයට ලක් කරන ලෙස ඉල්ලා සිටින බවත් එම නීතීඥවරු දැනුම් දුන්නා.

මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්  ප්‍රකාශ කළේ සාෆිගේ වත්කම් සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ පරීක්ෂණයේ දී ඉඩම්වල මුහුරත් වටිනාකම පමණක් ඉදිරිපත් කර ඇති බවයි. ඒවායේ වර්තමාන වටිනාකම රහස් පොලිසිය ඉදිරිපත් කර නැතැයි ද, බැංකු දෙකක ගිනුම් ගැන පරීක්ෂණයක් නොකර රහස් පොලිසිය සාෆි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ඉවත් කර තිබෙන බව ද මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ප්‍රකාශ කළා.
එසේම එක්තරා බැංකුවට සාෆි නමින් මිලියන 115ක මුදලක් හුවමාරු වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.