පොතක බරසාරකම තීරණය වෙන්නෙ එහි අන්තර්ගතයෙන්

පුවත්පත් කලාවේදී ප්‍රියන්ත ලියනගේගේ කුලුඳුල් නවකතාව ‘කොට තුවක්කු’ ජූලි 15 වෙනිදා සවස 3.00ට කොළඹ 7, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී දොරට වඩී. දේශපාලන අරගල පසුබිමක දිවෙන නවකතාවක් බැවින් එහිදී ‘71 සහ ‘88/ ‘89 අරගලයේ නියුතු සහෝදරවරුන් සිහිපත් කරමින් පොත් දෙකක් පිළිගැන්වීමද කෙරෙන අතර කෘතිය පිළිබඳව උපුල් ශාන්ත සන්නස්ගල හා සුදර්ශන සමරවීර අදහස් දක්වනු ඇත. ‘9 පබ්ලිෂින්’ ප්‍රකාශනයක් වන ‘කොට තුවක්කු’ කෘතිය පිළිබඳව කතුවරයා සමඟ පැවැත්වූ සංවාදයකි, මේ.

 ඡායාරූපය:

’කොට තුවක්කු’ නවකතාව ගැන ඔබ හඳුන්වා දෙන්නේ කෙසේද? එය බරසාර කෘතියක්ද?

පොතක බරසාරකම තීරණය වෙන්නෙ එහි අන්තර්ගතයෙන් කියලයි මං විශ්වාස කරන්නෙ. මේ පොත අන්තර්ගතයෙන් පවතින ජනප්‍රිය මතවාදයට යම් විරෝධාකල්පයක්. එත් ඒ නිසා මගේ පොත බරසාරයි හෝ ජනප්‍රියයි කියන්න මං ඉක්මං වෙන්නෙ නෑ. ඒක තීරණය කළ යුත්තෙ ඔබත් ඇතුළුව ‘කොට තුවක්කු’ කියවන පාඨක සමූහයයි.

‘කොට තුවක්කු’ මේ සමාජයට බලපෑම් කළ වචන දෙකක්. කොහොමද ඒ වගේ නමක් එන්නෙ?

මේ පොත ලියද්දි මගෙ ඔළුවෙ වැඩ කළේ වෙන නමක්. ඒත් දරුවකුට නම් තියෙනකොට අපි යාළුවන්ගෙන් නම් අහනවා වගේ මමත් අර නම තියාගෙන මිතුරන් එක්ක ඒ ගැන කථා කළා. එක මිත්‍රයෙක් මේ නමට කැමැති වුණේම නෑ. ඒත් ඔහු එක්ක කථා කරමින් ඉද්දි මේ නම ආවා. මෙය හැම අතින්ම මේ පොතට ගැළපෙනවා. ඒක බහුඅර්ථ තියෙන නමක්. නමේ සම්පූර්ණ ගරුත්වය දෙන්න ඕනෙ අපේ මිත්‍රයාට.

ඔබ ක්‍රියාකාරීව වාම දේශපාලනය කළ පවුලක පුරුකක්. වර්තමානය වන විට ඔබ එම දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඈත් වී සාහිත්‍යය පැත්තට යොමු වෙමින් ඉන්නවා. මෙය ඔබ තේරුම් ගන්නේ කෙසේද?

දේශපාලනයේ මගේ කතාව පටන් ගන්නෙ අපේ තාත්තාගෙන්. මං උපදින්නෙ 1964 සැප්තැම්බර් මාසෙ 29. 1971 වෙද්දි මට අවුරුදු හතයි. ඒ අවුරුද්දෙ මාර්තු මාසෙ තිස්වෙනිදා රාත්‍රියේ නින්දට වැටුණ මං හිටියේ අවුරුදු හතේ කොල්ලෙක් දකින ලස්සන අවුරුදු හීනයක් දැක දැක. එහෙම ඉද්දි මාව ඇහැරුණේ පොලිස්කාරයෙක් මගේ මූණට ඇල්ලුව ටෝච් එළියකින් ගිනිකණ වැටිලා. ඇහැරෙද්දි මං දැක්කෙ චේගුවෙරාකාරයෙක් කියල අපේ තාත්තාව පොලිස්කාරයෝ කුදලගෙන යනවා. එදා ඔවුන් චේගුවෙරාකාරයා කියපු තාත්තා මුලින් සමසමාජකාරයෙක්. පස්සෙ තමයි තාත්තා ජේවීපියට යන්නෙ. ඒ සමසමාජය සභාග දේශපාලනයට යෑම ගැන විරෝධය දක්වලා. මාත් ජේවීපී එකට ගියේ තාත්තගේ ඒ අඩිපාරේම තමයි. තාත්තා ‘71 අවුරුදු තුනහමාරක් ඇතුළේ ඉන්නවා. මාත් ‘87 ජේවීපී දේශපාලනය කරලා අවුරුදු හතක් හිර දඬුවම් විඳිනවා.

චේගුවෙරාකාරයා ජාත්‍යන්තරවාදියෙක්. අපි වැඩ කරන්න පටන් ගත් ජේවීපී එකත් මුලින් ජාත්‍යන්ත්‍රවාදීයි. මට මතකයි මුල් කාලෙ ජේවීපියේ තිබුණු ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒකට කිව්වෙ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා. ඒකෙ ඉහළින්ම තිබුණෙ ‘සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්’ කියල. එහෙම ආරම්භයක් අරන් තිබුණු ජේවීපී එක තමයි පස්සෙ කාලෙක ජාතිකවාදයට වැටිල එතනිනුත් නතර නොවී ජාතිවාදයේ ගොහොරුවේ ගිලුණෙ. අපි නැඟපු දේශපාලන කෝච්චිය යන්නෙ වැරදි පීල්ලක කියල මට ක්‍රමයෙන් වැටහෙන්න ගනිද්දි මං ඒ දේශපාලන කොච්චියෙන් බිමට බැස්සා. මට යහපත් දේශපාලන අපේක්ෂාවක් තියෙනවා. ඒත් අද වෙද්දි ලංකාව ඇතුළෙ යහපත් දේශපාලනයක් නෑ. ඒ නිසා තමයි අද වෙද්දි මං දේශපාලන හුදෙකලාවක ඉන්නෙ.

පසුකාලීනව ඔබ වෘත්තීය පත්තරකාරයෙක් වෙනවා. ඒ භූමිකාවද ඔබව වෙනස් කරන්නේ?

මගේ පත්තර භූමිකාව එන්නෙත් මගේ දේශපාලනය ඇතුළෙන්මයි. ඒ නිසා මගේ සමස්ත මාධ්‍ය භාවිතයම දේශපාලනික භාවිතයක්. මගේ මාධ්‍ය ජීවිතයේ ආරම්භය ‘සිතිජය’ සඟරාව. මං ඒකට එන්නෙ දේශපාලන වැඩක් කරන්න. එතනින් ‘ලංකා’ පත්තරයට. ඒකත් දේශපාලන වැඩක්. එතනින් ‘ජනරළ’ පත්තරය. ඒකත් දේශපාලන වැඩක්. ඊට පස්සෙ විමල් කැටිපෙආරච්චි සහ මහේෂ් කුමාර එක්ක එකතු වෙලා කරපු, කලාප තුන හතරකට සීමාවුණු ‘කැරැල්ල’ සඟරාව. ඒකත් ඍජුවම දේශපාලනික නැති වුණත් සංස්කෘතික දේශපාලනික වැඩක්. ඉන් පස්සෙ ඉතාම කෙටි කාලයක් ‘සත්හඬ’ පුවත්පතේ මගේ ජනමාධ්‍යවේදී භූමිකාවේ නිරතව සිටියා. මගේ මුළුමහත් මාධ්‍ය භාවිතාව ඇතුළෙ ඍජු දේශපාලනයකින් තොරව කටයුතු කරල තිබෙන්නෙ ඒ ඉතාම කෙටි කාලෙ පමණයි. අද වෙද්දි මම ජීවත් වීම සඳහා විජය පුවත්පත් සමාගමේ සෝදුපත් බලන්නෙක් ලෙස කටයුතු කරනවා. ඒ හින්ද දැන් මං පත්තර භූමිකාවට ආයුබෝවන් කියපු පත්තරකාරයෙක්.

තව එක කරුණක් තමයි බරසාර කතා කියපු දේශපාලනය සිල්ලර වෙද්දි ඒ බර කතා මම පැත්තකින් තියනවා. සමාජය වෙනස් කරන එක ලොකු වැඩක්. ඒකට තාමත් මේ ලංකාව ඇතුළෙ ලොකු වේකන්සියක් තියෙනවා. කවුරුහරි කවදහරි ඒ වේකන්සිය පුරවාවි කියල මට තාමත් සුබවාදී බලාපොරොත්තුවක් තියෙනවා. හැම සිහිනෙම සැබෑවුන් නැතත් සිහින දැකීමට මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. මං ඒ අයිතියට ගරු කරන හිස නමන මිනිහෙක්.

පොතක් ලියන්න ලේසියි, මුද්‍රණය කරලා විකුණගන්න එක තමයි අමාරු කියල හුඟදෙනෙක් කියන්නෙ. කොහොමද මේක මෙතනදි සිදු වුණේ?

ඇත්තටම ආර්ථික හයියක් නැති අපි වගේ මිනිසුන්ට කඩදාසි සහ මුද්‍රණ වියදම් අධික මේ වෙළෙඳ සමාජයේ පොතක් ලිව්වාට ඒක කෘතියක් ලෙස ජනතාව අතරට අරන් යන්න ලේසි නෑ. හැබැයි ‘කොට තුවක්කු’ සඳහා ඒ අභියෝගය ආවේ නෑ. ඒ මගේ මිත්‍රයා උදිත අලහකෝන් නිසා. පොත ලියන්නත් ඉස්සර මගේ හිතේ මේ දවස්වල නවල් එකක් වැඩ කරමින් තියෙනවා කියල මං කියද්දිම ඔයා පොත ලියන්න, අපි පොත ගහමු කියල මගේ හිතේ උපන්න කතාවටම ඔහු ප්‍රකාශකයා වුණා.

සාහිත්‍යය කන්නද කියල හිතන දේශපාලන ක්‍රමයක් එක්ක ඔබ අලුතින් පයගහන ක්ෂේත්‍රයේ ආනාගතය කොහොම වෙයිද?

දේශපාලනය වැඩි වැඩියෙන් අලාමුළා වෙද්දි තමයි මිනිසුන්ට වැඩි වැඩියෙන් සාහිත්‍යයේ වටිනාකම දැනෙන්න ඕන කියලයි මං විශ්වාස කරන්නෙ. වෙනත් ලෙසකින් කියනවා නම් තථ්‍ය යථාර්ථය අවුල් වෙන්න අවුල් වෙන්න තමයි මිනිසුන්ට ප්‍රබන්ධ යථාර්ථයේ අගය දැනෙන්නෙ. සාහිත්‍යකරුවා කියන්නෙ එක පැත්තකින් ෆැන්ටසි නිමවන්නෙක්. ඔහු කරන්නෙ තමන්ට රුචිකර නැති යථාර්ථය කුඩුපට්ටම් කරල දාලා තමන්ට ජීවත් වෙන්න පහසු, තමන් ජීවත් වෙන්න කැමති ප්‍රබන්ධ ලෝකයක් පරිකල්පනය ඇතුළෙ නිර්මාණය කරන එක.

මට ජීවිතය කියල කියන්නෙ මිල මුදල්, යාන වාහන නෙමෙයි, ලයිෆ් එක විඳීම. අද මිනිස්සු වැඩි දෙනෙක් කරන්නෙ ලයිෆ් එක විඳිනවා වෙනුවට විඳවන එක. සාහිත්‍යකරුවා කරන්නෙ එක පැත්තකින් ඒ විඳවන මිනිසුන්ට අස්වැසිල්ලක් දෙන එක. ඒ, මිනිසුන්ට ජීවිතාවබෝධය ලබා දෙමින්. මිනිස් ජීවිතයේ සංකීර්ණතා, එහි ඉරණම්සහගතභාවය, කළු-සුදු තැවරිච්ච ජීවිතවල අළුපැහැති ස්වභාවය විවරණය කිරීම මගින් හොඳ සාහිත්‍යය මිනිසුන්ට ලෝකය විවර කරනවා. ජීවිතය පුළුල් කරනවා. දේවල් ගැන තර්ක කරන මිනිස්සුම තර්ක විරහිත දේවල් කරද්දි, ඒ තමයි මිනිස්සු වැඩ කරන ක්‍රමය කියන එක කියල දෙනවා. මට ඒ අවබෝධය ලැබුණෙ මං කරපු දේශපාලනයෙන් නෙමෙයි, මං කියවපු පොතපත තුළින්. ඉතින් මං කළේ ලයිෆ් එක විඳීම වෙනුවෙන් මං කැමැති ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය කරගෙන ඒ වෙතට පිවිසීම. වෙනත් විදිහකින් කියනවා නම් ජීවත්වීම වෙනුවෙන් ජීවිතයෙන් පලායාම. ඒ පලායන්නෙ පෙරළා ජීවිතයට පිවිසීම වෙනුවෙන්. පුපුරුවාගෙන හරි මරාගෙන මැරෙන හරි ජාතියකට හරි ආගමකට හරි බිලි වෙනවාට වඩා සාහිත්‍යයට – කලාවට මිනිසුන් ඇබ්බැහි කිරීම යහපත් වැඩක් කියලයි මං හිතන්නෙ. මේක ඇබ්බැහි ලෝකයක්. මං හිතනවා දේශපාලනයත් අනෙකුත් ඇබ්බැහි වගේම ඇබ්බැහියක්. ඉතින් මං කළේ එක ඇබ්බැහියක් තිබුණු තැනට වෙන ඇබ්බැහියක් ‘රී ප්ලේස්’ කරපු එක.

ඔබ අහන අනාගතය කොහොම වෙයිද කියන ප්‍රශ්නයට ඍජු උත්තරයක් දෙන්න මට බැරි වුණත් මේ පිස්සු හැදෙන ලෝකයේ පිස්සු නොහැදී ඉන්න ක්‍රමයක් මං හොයාගත්තා කියල මට හිතෙනවා. ඔබ හැම දෙනාටමත් මං ඒ යෝජනාව කරන්න කැමතියි. ඔබත් ඒ ඇබ්බැහියට හුරු වෙලා බලන්න. ඔබ ආදරෙන් පිරේවි. අවබෝධයෙන් පුළුල් වේවි. ඔබ කවදාකවත් වෛරයෙන් පිපිරෙන්න නැති මිනිහෙක් වේවි. සාහිත්‍යයේ දේශපාලනය ඒක කියලයි මං හිතන්නෙ. බොහෝ දේශපාලකයො ඒ දේශපාලනයට බයයි. සාහිත්‍යය කන්න බැරි බව ඔවුන් දැනගෙන හිටියා වගේම සාහිත්‍යයෙන් පෝෂිත පිරුණ මිනිස්සු ඉන්න රටක් කාබාසිනියා කරන්නත් ලේසි නෑ. කන්න බැරි සාහිත්‍යය භක්ෂණය කරන්න බැරි මිනිහෙකු නිර්මාණය කරනවා කියල ඔවුන් දන්නවා. ධනවාදයේ හිටපු ජේ.ආර්. කලාවේ කිමිදිලා කල්පනා ලෝකවාදයේ හිටපු මහාචාර්ය සරච්චන්ද්‍රට මැරයො දාලා කාණුවක දාගෙන පහර දුන්නෙත් ඒකයි.

පැරණි සෝවියට් දේශය ඇතුළු සමහර රටවල්වල සාහිත්‍යය, කලාව සහ දේශපාලනය ගැටගැහුණු හැටි අපි කියවා තිබෙනවා. පූර්ණකාලීන දේශපාලනයේ යෙදුණු කෙනෙක් විදිහට ඔබ කියන්න, ඇයි අපිට එහෙම සංස්කෘතියක් හදාගන්න බැරි වුණේ? ඒක ලියන්නන්ගෙ අඩුවක්ද? කියවන්නන්ගේ අඩුවක්ද?

ඇත්ත. කාලයක් මාත් එහෙමයි. මං විතරක් නෙමෙයි, අපේ පරම්පරාවේ හුඟදෙනෙක් එහෙමයි. අපි බොහෝ දෙනෙක් කියවන මිනිසුන් බවට පත් වුණේ සෝවියට් සාහිත්‍යය ඇසුරේ. ඒ කාලෙ අපේ වීරයා, දුෂ්ටයා හැදුණේ සෝවියට් සාහිත්‍යය ඇසුරේ. ඒත් මගේ කියවීම ටිකින් ටික පළල් වෙද්දි සෝවියට් සාහිත්‍යය පිළිබඳ මගේ තිබුණු ඒ ලාලසාව ක්‍රමයෙන් ගිලිහෙන්න ගත්තා. මොකද මිනිස් ජීවිතය සහ මිනිස් සබඳතා හරිම සංකීර්ණයි. දේශපාලන දඬුඅඬුවක හිරවෙච්ච සෝවියට් සාහිත්‍යයට ඒ සංකීර්ණ මිනිස් ජීවිතය අහුවෙන්නෙ නෑ. ඒ දෘෂ්ටිමය දඬුඅඬුව සීමාකාරීයි. විශේෂයෙන් ස්ටාලින්ගේ සෝවියට් දේශය තුළ. ඒ සෝවියට් සාහිත්‍යය තුළ එළියට ආවේ ඇත්ත මිනිස් හැඟීම් කැටි වූ මිනිස් ජීවිතයේ ගුප්ත ස්වභාවය හා සංකීර්භාවයන් නිරූපණය වෙන සාහිත්‍යය නෙමෙයි, දේශපාලන අරමුණක් වෙනුවෙන් ලියවුණු පැතලි කළු-සුදු මිනිස්සු ඉන්න කෘති. ඒවායේ ඉන්නෙ එක්කො සමාජය වෙනුවෙන් ජීවිතය කැප කරන හරිම පරමාදර්ශී මිනිස්සු. නැත්නම් සමාජ ප්‍රගතියට විරුද්ධ දුෂ්ට මිනිස්සු. ඒත් සැබෑ ජීවිතයේදි අපිට හමුවෙන්නෙ

ඊට වඩා වෙනස් කළු-සුදු කලවම් වුණු නැත්නම් හොඳ – නරක දෙකම කැටිවුණු අළුපැහැති මිනිස්සු. අර මං ඉහතින් කියපු දේශපාලන වුවමනාවෙන් විලිලපු සෝවියට් සාහිත්‍යය තුළ ඒ සංකීර්ණ මිනිස් හැඟීම් නිරූපණය වුණේ නෑ.

ඒ හින්දා අද මං දකින්නෙ ඒක පැතැලි සාහිත්‍යයක් ලෙස. ඒක සීමාකාරී සාහිත්‍යයක්. මං මේ කියන කාරණය තේරුම් ගන්න මට ඔබට දෙන්න තියෙන හොඳම උදාහරණය තමයි සෝවියට් දේශයේ නිර්මාතෘ ලෙනින් සහෝදරයා. ලෙනින් විප්ලවයේ කැඩපත කියල හැඳින්නුවේ විප්ලවය වෙනුවෙන් පණ දාගෙන ලියපු ගෝර්කිව නෙමෙයි. විප්ලවයට පට්ට හතුරෙක්ව සිටි රුසියාවේ මහා සාහිත්‍යවේදියා වුණු ටෝල්ස්ටෝයිව. ඇයි ඒ? මං මේකෙන් කොහෙත්ම අදහස් කරන්නෙ නෑ ගෝර්කිලා, ෂෝලහොව්ලා නරක සාහිත්‍යවේදීන් කියල. පූර්ව විප්ලවීය රුසියාවේ ලියවුණු ඔවුන්ගේ කෘති කියවන්න. එතකොට ඔබට තේරෙයි ඔවුන් මොනතරම් ශක්‍යතා තිබුණු සාහිත්‍යකරුවොද කියල. මං මේ කියන්නෙ ඒ ශක්‍යතා සෝවියට් දේශපාලනය ඇතුළෙ නිරපරාදෙ නැති නාස්ති වුණා කියලයි. සොවියට් සාහිත්‍යය කළේ මිනිස් ජීවිතයට තිරයක් දාලා වහලා තමන්ට කැමැති දේවල් විතරක් අපිට පෙන්නු එක.

ඒත් සාර්ගේ කාලෙ බිහි වුණු මහා රුසියානු සාහිත්‍යය ඇතුළෙ අපි දැක්කෙ සැබෑ මිනිස් ජීවිතයි. ‘ඇනා කරනිනා’, ‘අපරාධය හා දඬුවම’, ‘යුද්ධය හා සාමය’, ‘මළ මිනිස්සු’, ‘හිම කබාය’ අපට ඇත්ත මිනිස් ජීවිතය දැකගන්න පුළුවන් කෘතිවලට උදාහරණ කීපයක් විතරයි. ලෙනින් සහෝදරයා විප්ලවයේ හතුරෙක් වුණු ටෝල්ස්ටෝයිව විප්ලවයේ කැඩපත කියල හැඳින්නුවෙත් ඒ ඇත්ත රුසියානු ජන ජීවිතය ඔහුගේ කෘති තුළින් නිරූපණය වුණු නිසයි.

ඒ නිසා ලංකාවේ සාහිත්‍යය සෝවියට් සාහිත්‍ය වර්ගයේ දේශපාලන සාහිත්‍යයක් ලෙස වර්ධනය නොවීම ලියන්නන්ගේ අඩුවක් වුණත් කියවන්නන්ගේ අඩුවක් වුණත් ඒ ගැන අද වෙද්දි මට තියෙන්නෙ සතුටක්. හැබැයි ලංකාවේ සාහිත්‍යය ලෝක සාහිත්‍යයට සාපේක්ෂව වර්ධනයේ ඉතා පහළ මට්ටටමක තියෙන ඒක ගැන මට දුකක් තියෙනවා. සාහිත්‍යය වර්ධනය වෙන්නෙ මිනිස්සුන්ගේ කියවීම පළල් වෙද්දි කියලයි මට හිතෙන්නෙ. ඒකට නම් කියවන මිනිසුන් වගේම ලියන මිනිස්සුත් වගකියන්න ඕන. මං හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි හොඳ සාහිත්‍ය කෘතියක් සීමාකම් අවම පළල් මිනිසෙක් බිහි කරයි කියන එක.

සාකච්ඡා කළේ [ශාලික විමලසේන]

ඡායාරූපය [රවීන්ද්‍ර පුෂ්පකුමාර]