විනාශකාරී ගමන නිසැක ලෙසම වෙනස් කළ යුතුයි

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුටත් රට ඉබාගාතේ යන මෙම විනාශකාරී ගමන අනුමත කළ නොහැකි බවත් එම විනාශකාරී ගමන රැගෙන යන ප්‍රධාන කඳවුරු දෙක පරාජයට පත්කිරීමට විසිරී ඇති තුන්වැනි විකල්ප කඳවුර එක මධ්‍යස්ථානයකට එකතු කිරීමත් කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

“අපේ රට අතිශය විනාශකාරී අන්තයක් කරා ගමන් කරමින් තිබෙනවා. රටත් ජනතාවත් අතිශය පීඩාවට පත්ව සිටිනවා. ආර්ථිකයේ, සමාජයේ, පරිසරයේ ඇති විය හැකි විශාලතම හානිය වෙමින් තිබෙනවා. මෙම තත්වය වෙනස් කිරීම සඳහා අප ගත් වෙහෙසමෙතෙක් සාර්ථක වී නැහැ. හෘද සාක්ෂියක් තිබෙන කිසිවෙකුට රට ඉබාගාතේ යන මේ විනාශකාරී ගමන දෙස බලා සිටීමට අයිතියක් නැහැ. මේ විනාශකාරී ගමන නිසැක ලෙසම වෙනස් කළ යුතුව තිබෙනවා.

අද සමාජය කඳවුරු තුනකට බෙදී තිබෙනවා. එකක් ගෝත‍්‍රවාදී අන්තයක් නියෝජනය කරනවා. අනෙක් පාර්ශ්වය නව ලිබරල් විනාශකාරී අන්තයක් නියෝජනය කරනවා. මේ කඳවුරු දෙක විටෙක එකටත් විටෙක වෙන් වෙන්වත් බලය හෙබවූවා. ඊට පිටින් විශාල විසිරුණු කඳවුරක් තිබෙනවා. මේ විසිරුණු තුන්වනි විකල්ප කඳවුර එක මධ්‍යස්ථානයකට එකතු කළ යුතුව තිබෙනවා. ජාතික ජනබලවේගය නිර්මාණය වන්නේ එම මධ්‍යස්ථානය වෙනුවෙනුයි. මෙය නියෝජනය කරන අප අතර වෙනස්කම් තිබිය හැකියි. එහෙත් අප සියලූ දෙනා මුල් ගල් තුනක් මත විශ්වාසය තබනවා. පළමුවැන්න රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දෙවැන්න ආර්ථික සමානාත්මතාව, තෙවැන්න මිනිසත්කමයි.

අද වන විට සෑම තැනම මිනිස් නිදහසට වැටකඩොළු බඳිනු ලැබ තිබෙනවා. කලා සංස්කෘතික අංශයේ සිට සියලූ ක්ෂේත‍්‍රයන්වලට මෙය අදාළයි. ආර්ථික සංවර්ධනය කියන්නේ කොන්ක‍්‍රීට් වනාන්තරයක් නෙමෙයි. එය ඇස් නිලංකාර කරවන්නක්ද නොවිය යුතුයි. ආහාර නොමැතිකම නිසා අම්මලාට දරුවන් සමග කොච්චියට පැනීමට සිදු නොවිය යුතුයි. තරුණ තරුණියන්ට රටින් පලා යාම ජයග‍්‍රහණයක් ලෙස සිතෙන්නක් නොවිය යුතුයි. ජාතික ආර්ථිකයේ ඵල ජනතාව අතර බෙදී යන සියලූ දෙනාට සමානාත්මතාවයෙන් සලකන ආර්ථිකයක් නිර්මාණය විය යුතුයි. සියලූ ගෝත‍්‍රවාදී ජාතිවාදී මතවාද ඉවත්වී මනුෂ්‍යත්වයෙන් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා.

අප සියලූ දෙනා මේ වෙනුවෙන් විවිධ ක්ෂේත‍්‍රවල අරගල කළ පුද්ගලයින් විය හැකියි. එහෙත් අද අප හමුවේ ඇත්තේ හුදෙකලා තනි තනි අරගලවලින් ජයග‍්‍රහණය කළ හැකි සටනක් නෙමෙයි. ඒ සඳහා අප සියලූ දෙනා එක මිටකට ඒකරාශි විය යුතුව තිබෙනවා. තනි තනි වටුවාට දැල එසවිය නොහැකියි. නමුත් අප සාමූහිකව පියාසර කළහොත් අපට දැලෙන් මිදීමට හැකියාව තිබෙනවා. ජාතික ජනබලවේගය එවැනි සාමූහික ප‍්‍රයත්නයක් වනු ඇති බවට අපට විශ්වාසයක් තිබෙනවා.

මේ පණිවිඩය අප සමාජයේ සියලූ කොටස් වෙත ගෙන යා යුතුව තිබෙනවා. සමාජයේ පතුලේ ජීවත්වන ජනතාව වෙත මෙම අදහස ළඟා විය යුතුයි. මෙම සංවිධානය පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත්විය යුතුව තිබෙනවා. පොදුවේ මෙම සමාජය තුළ යටත්වීම වෙනුවට පවත්නා අසාධාරණයට එරෙහිව සටන් වදින අකීකරු මිනිසුන් විය යුතුව තිබෙනවා. එවැනි මිනිසුන් ඒකරාශි කරගත් ජාතික ජනබලවේගය නව සමාජයක් නිර්මාණය කිරීමේ ජයග‍්‍රහණයෙන් මිස නතර නොවන බව සහතික කරනවා.”