බදුර්දීන් අකුණු සන්නායකයක් වගේද ?

රිෂාඩ් බදියුදීන් හෙණ නොවදින සන්නායකයක් වගේ. මොන වැරැද්ද කළත් නීතිය ඉදිරියේ නිවැරැදිකරුවෙක් වෙනවා. එතුමාට ගෑවිලා ඉන්න කෙනකුටවත් කිසිවක් වෙන්නේ නෑ යැයි සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසති.

දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම අදහස් දැක්වූ දයාරතන හිමියෝ මෙසේද පැවැසූහ.

“විශ්වාසභංගය දිනන්න බෑ කියලා දැනගෙනම ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ බොරුවට. ජනතා විමුක්ති පෙරමුණට මොනතරම් චෝදනා තිබුණත් ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට තියෙනවා. ඒක රැකගන්න තමයි විශ්වාසභංගයක් ගෙනාවේ.

ශ්‍රී ධරන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ළමයි ඉදිරිපිටට ගිහින් වෛරී ප්‍රකාශයක් සිද්ධ කරනවා. හමුදාවට අප්‍රසාදය පළ කරමින් අපහාස කළා. මේ තුළින් ළමයින්ගේ මනසට බලපෑමක් කළේ නැද්ද? දැන් පාක්‍යසෝතිලාට බැරිද මේ ප්‍රකාශවලට විරුද්ධව පැමිණිලි කරන්න. පාක්‍යසෝතිට පුළුවන් අපේ මහනායක හාමුදුරුවෝ මොනවා හරි ප්‍රකාශයක් කළොත් ඒකට විරුද්ධව පැමිණිලි දාන්න විතරද සම්පන්දන් කීවා අපේ ඉල්ලීම් ලැබුණේ නැත්නම් නැවතත් අවි ගන්නවාට අපේ විරෝධයක් නෑ කියලා. මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්ද? රටේ නීතය ප්‍රබලයන්ට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේ ප්‍රකාශ තුළින් සිංහල ජනතාවට දුකක් තරහක් ඇති වෙන්නේ නැද්ද?

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයට ඇතුළු වෙන තැනම ගහලා තියෙනවා මේක පුරාවිද්‍යා භූමියක් කියලා. හැබැයි පුරාවිද්‍යා කොමසාරිස්වරයා උසාවියට වාර්තාවක් දෙනවා මේක පුරාවිද්‍යා භූමියක් කියලා හඳුනාගෙන නෑ කියලා. ඒ හින්දා පොලිසියත් කියනවා මේක පුරාවිද්‍යා භූමියක් නෙවෙයි කියලා. ඇයි මේකේ පුරාවිද්‍යා පුවරු ගහලා තියෙද්දී මේක පුරාවිද්‍යා භූමියක් නෙවෙයි කියලා උසාවිය නොමඟ හරින්න හදන්නේ. මීට කලින් මේ විහාරයට දෙදෙනෙක් බලෙන් ඇතුළු වෙලා කෝවිලක් හදන්න කැණීම් කළා. පුරාවිද්‍යා භූමියක අනවසරෙන් කැණීම් කළාම අත්අඩංගුවට ගන්න ඕනෑ. ඒ නිසයි දැන් මේක පුරාවිද්‍යා භූමියක් නෙවෙයි කියන්නේ.

පාස්කු ප්‍රහාරය ආණ්ඩුවේ තිබෙන දුර්වලතාවක් නිසා ඇති වුණු එකක්. මේකට පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු වගේම සෙසු බලධාරිනුත් වගකිව යුතුයි. හැබැයි අවසානයේ වගකීම් භාර ගන්න වෙන්නේ නිලධාරීන්ට. ඒ නිසා නිලධාරීන්ට අපි කියනවා දේශපාලනඥයන්ට අවශ්‍ය විධියට වැඩ කරන්න එපා කියලා.

රිෂාඩ් බදියුදීන් තඹ කම්හලට අයථා පරිදි තඹ ලබා දුන්නා කියන එක පැහැදිලියි. එතුමා ත්‍රස්තවාදීන් ප්‍රවාහනය කරලා තිබෙනවා. මේ රටේ රිෂාඩ් බදියුදීන්ට මොන තරම් හයියක් තිබෙනවාද? එතුමා නිකන් හෙණ නොවදින සන්නායකයක් වගේ. ඕනෑම වැරැද්දකට නීතිය ඉදිරියේ එතුමා නිවැරැදිකරුවෙක් වෙනවා.